ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ අංශයට ණය ලබා දීමේදී කොමර්ෂල් බැංකුව අඛණ්ඩව පස්වන වසරටත් පෙරමුණේ

    December, 29, 2025

    අඛණ්ඩව පස්වන වසරටත් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට විශාලතම ණය දෙන්නා ලෙස කොමර්ෂල් බැංකුව පෙරමුණ ගෙන ඇති බව 2024 වසර සඳහා නිකුත් කළ මුදල් අමාත්‍යාංශයේ අවසන් අයවැය වාර්තාව තුළින් හෙළි වී ඇත.

    2024 වසරේදී කොමර්ෂල් බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ණය වශයෙන් රුපියල් බිලියන 330.9ක් ලබා දී ඇති බව එම වාර්තාව තුලින් පෙන්වා දෙන අතර එය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු 16ක් විසින් සපයන ලද රුපියල් බිලියන 1,090 ක මුළු ණය මුදල් ප්‍රමාණයෙන් 30.3%ක් නියෝජනය කරයි. මේ අනුව කොමර්ෂල් බැංකුව අනෙකුත් සියළුම ආයතන වලට වඩා සැලකිය යුතු ලෙස ඉදිරියෙන් සිටින අතර, තම ආසන්නත ම තරඟකරුට වඩා 91% ක් ඉහළ අගයකින් ණය ලබා දීමෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ණය ලබා දීමේ කාර්යභාරයේ පෙරමුණ ගෙන තිබේ.

    කෘෂිකර්මාන්තය, සේවා, කර්මාන්ත සහ අනෙකුත් අංශ වලට බැංකුවේ සහයෝගය ලබා දී ඇති අතර එහි විශාලතම දායකත්වය කර්මාන්ත වෙනුවෙන් යොමු කර ඇත. කොමර්ෂල් බැංකුව මෙම අංශයට පමණක් රුපියල් බිලියන 266.8 ක් ණයට දුන් අතර එය 2024 දී ශ්‍රී ලංකාවේ කාර්මික අංශයේ ව්‍යවසායන් විසින් ලබාගත් මුළු ණය ප්‍රමාණය වන රුපියල් බිලියන 557.6 න් 47.8% ක ප්‍රතිශතයකි.

    මෙම කාර්ය සාධන දර්ශකය මගින් අවධාරණය කෙරෙන්නේ, රැකියා උත්පාදනය, වටිනාකම් නිර්මාණය සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කරවීමේ ප්‍රබල බලපෑමක් කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය බල ගැන්වීම සඳහා කොමර්ෂල් බැංකුවේ තිරසර වූ උපායමාර්ගික කර්තව්‍යයන් හි සාර්ථකත්වයයි.

    මෙම ක්ෂේත්‍රය තුළ බැංකුව දක්වන අඛණ්ඩ නායකත්වය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේය. “කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් වන අපගේ කැපවීම මුල් බැසගෙන ඇත්තේ ඔවුන්ගේ සාර්ථකත්වය මෙරට ආර්ථික අනාගතයත් සමඟ බද්ධ වී ඇති බවට අප තුළ ඇති විශ්වාසය මතයි. 2024 දී බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කේන්ද්‍ර කරගත් ව්‍යාපෘති 8,700කට අධික අංඛ්‍යාවකට ධනාත්මක බලපෑමක් ඇතිකළ අතර එමඟින් රැකියා නිර්මාණය, ප්‍රජා සංවර්ධනය සහ ආර්ථිකව අන්තර්ගතකරණය සිදු විය. ප්‍රචණ්ඩ වූ කුණාටුවේ බලපෑමට රට ප්‍රතිචාර දක්වන විටදීත් කොමර්ෂල් බැංකුව කුඩා හා මධ්‍යම ව්‍යාපාර සමඟ අඛණ්ඩව රැඳී සිටින අතර ඔවුන්ට ප්‍රකෘතිමත් තත්වයට පත් වීමට මෙන් ම සමස්ත ශ්‍රී ලංකාව ම නැවත ගොඩනැගීමට ද බැංකුව උර දෙනු ඇත.”

    “කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සඳහා විශාලතම ණය දෙන්නා ලෙස අඛණ්ඩව පස්වන වසරටත් අප ප්‍රමුඛස්ථානයේ රැඳී සිටින බව මුදල් අමාත්‍යාංශය විසින් ම තහවුරු කිරීම, අප දියත් කළ අරමුණු පාදක කොටගත් ප්‍රවේශයන් වල සෘජු ප්‍රතිඵලයකි. මූල්‍ය තත්වයන් වෙත ළඟාවීමේ හැකියාව පුළුල් කිරීමට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ වර්ධනය වේගවත් කිරීමේ තාක්ෂණයන් යෙදවීමට, මෙන් ම අභියෝගවලට ඔරොත්තු දීමට හා තිරසාර ලෙස ව්‍යාප්ත වීමට එම ව්‍යාපාරවලට මඟ පෙන්වමින් සහය ලබා දීමට, අපි ඉදිරියට ද ඇප කැප වී කටයුතු කරන්නෙමු.”

    ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

    දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.