දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය යළි ගොඩනැගීම: මෙය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් මිස අලුත්වැඩියා කටයුත්තක් නොවේ

    February, 12, 2026

    තෙමසකට පසු (2026 පෙබරවාරි)

    ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා FAO නියෝජිත විම්ලේන්ද් ෂරන් විසිනි

    2025 නොවැම්බර් මස අගභාගයේදී දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා හමා ගොස් මේ වන විට මාස තුනක් ගතවී ඇති මේ මොහොතේ, පුවත් සිරස්තලවල අවධානය වෙනත් අතකට යොමුවී ඇත. බොහෝ ප්‍රදේශවල ගංවතුර බැස ගොස් ඇති අතර, පීඩාවට පත් ප්‍රජාවන් වෙත හදිසි ආධාර ලැබී තිබේ. ගොවීහු ද සුපුරුදු පරිදි තමන්ට හැකි දේ බේරා ගැනීමටත්, ඊළඟ කන්නයට සූදානම් වීමටත් උත්සාහ කරමින් සිටිති. එහෙත්, දැන් පවතින වැදගත්ම ප්‍රශ්නය වන්නේ කෘෂිකර්මාන්තය කොපමණ ඉක්මනින් "සාමාන්‍ය" තත්ත්වයට පත්වන්නේද යන්න නොවේ. දිට්වා කුණාටුව මෙතරම් විනාශකාරී වීමට මූලික හේතුව වූ අවදානම් චක්‍රය බිඳ දැමෙන ආකාරයට ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම් සිදු කරන්නේද යන කාරණයයි.

    දිට්වා යනු හුදෙක් දරුණු සුළි කුණාටුවක් පමණක් නොවේ. එය අපගේ ආහාර පද්ධතිය, ඉඩම් සහ ජල කළමනාකරණය මෙන්ම ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති ආයතනවල ඔරොත්තු දීමේ හැකියාව පරීක්ෂා කර බැලූ අවස්ථාවකි. ගොවිබිම් පිහිටා ඇත්තේ ගංවතුර මාර්ගවල නම්, වාරිමාර්ග සහ ජලාපවහන පද්ධති සැලසුම් කර ඇත්තේ අතීතයේ පැවති වර්ෂාපතන රටාවන්ට ගැලපෙන පරිදි නම්, සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් නොමැති නම් සහ පූර්ව අනතුරු ඇඟවීම් නිරන්තරයෙන් පූර්ව ක්‍රියාමාර්ග බවට පරිවර්තනය නොවන්නේ නම්, අලාභහානි කොපමණ වේගයෙන් වැඩි වන්නේද යන්න දිට්වා විසින් ඉතා කටුක විස්තර සහිතව පෙන්නුම් කරන ලදී.

    ආපදාව සිදුවූ වහාම එහි හානිය මනිනු ලැබුවේ ජලයෙන් යටවූ හෙක්ටයාර ගණන, කැඩී ගිය ඇළ වේලි හා හානි වූ යටිතල පහසුකම් මෙන්ම එක් රැයකින් තමන්ගේ මුළු කන්නයේම ආදායම අහිමි වූ පවුල් දෙස බැලීමෙනි. එම මිනුම් නිවැරදිය. එම බලපෑම් තවමත් සැබෑ ලෙසම පවතී. එහෙත් මාස තුනකට පසු අපට ඉගෙන ගත හැකි වඩා අර්ථවත් පාඩම වන්නේ, එම කම්පනය මෙතරම් දුරකට සහ මෙතරම් වේගයෙන් ගමන් කළේ මන්ද යන්නයි. කාලයත් සමඟ, ආපදාවලට නිරාවරණය වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. ඉඩම් සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම සහ අවදානම් පිළිබඳ දැනුවත් කිරීම සැලසුම්කරණය (Risk-informed planning) දුර්වල වීම හේතුවෙන් වගා කටයුතු සහ ජනාවාස ගංවතුර නිම්න සහ අස්ථාවර බෑවුම් දක්වා ව්‍යාප්ත වී තිබේ. කම්පන දරාගත යුතු යටිතල පහසුකම් වන වැව්, ඇළ මාර්ග, බැමි සහ බෝක්කු බොහෝ විට අසාර්ථක විය. නඩත්තු කටයුතු ප්‍රමාද වී තිබීමත්, සැලසුම් කටයුතුවල ප්‍රමිතිය අයහපත් කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන මට්ටමට යාවත්කාලීන නොවීමත් ඊට හේතු විය. නිෂ්පාදන අවදානම ගොවිපොළ මට්ටමේ තිව්‍රවී පවතී. ඊට හේතු වී ඇත්තේ විවිධාංගීකරණය සීමිත වීම සහ කන්නයේ වැරදි කාලවකවානුවක සිදුවන තනි සිදුවීමකට වුවද ගොවිබිම් දැඩි ලෙස සංවේදී වීමයි. මේ අතර, ණයගැති පවුල්වලට අවශ්‍ය සහනාධාර (Liquidity) ප්‍රමාද වීම නිසා ඔවුහු යළි යථා තත්ත්වයට පත්වීමට දැඩි වෙහෙසක් දරති. එසේම ගොවීන් වෙත ලැබුණු තොරතුරු, නිසි වේලාවට ප්‍රායෝගික තීරණ ගැනීමට තරම් නිශ්චිත නොවීය.

    දිට්වා කුණාටුවෙන් ශ්‍රී ලංකාව එක් පාඩමක් පමණක් ඉගෙන ගන්නේ නම්, එය මෙසේ විය යුතුය: යථා තත්ත්වයට පත්වීම සඳහා වියදම් කිරීම (Recovery spending) මගින් පමණක් ඔරොත්තු දීමේ හැකියාව නිර්මාණය කරන්නේ නැත. යළි ගොඩනැගීමේ පියවර මගින් හුදෙක් හානි වූ දේ ප්‍රතිස්ථාපනය කිරීම වෙනුවට, නැවත නැවත සිදුවන පාඩු අවම කිරීම අවශ්‍යය. ඒ සඳහා දේශපාලනිකව සහ පරිපාලනමය වශයෙන් ඇතැම් විට දැඩි තීරණ ගැනීමට සිදුවනු ඇත. එහෙත් හදිසි අවස්ථා, අලුත්වැඩියා කිරීම් සහ පසුතැවිලි වීම්වලින් සමන්විත එකම චක්‍රය නැවත නැවත සිදු වීමට වඩා එම තීරණ ගැනීම අතිශයින් ලාභදායකය.

    පළමුව, දින ගණනාවක් පුරා කුඹුරුවල ජලය රැඳී පවතින විට සම්පූර්ණයෙන්ම විනාශ වී නොයන ආකාරයේ ගොවිතැන් ක්‍රම ශ්‍රී ලංකාවට අවශ්‍යය. ඉන් අදහස් වන්නේ විවිධාංගීකරණය ව්‍යතිරේඛයක් නොව සාමාන්‍ය දෙයක් බවට පත් කිරීමයි. අවදානම සීමාවන යන පරිදි බෝග මිශ්‍රණ සහ වගා කාලසටහන් අනුගමනය කිරීමට ගොවීන්ට සහාය වීම ද මීට ඇතුළත්ය. එසේම ආතතියට ඔරොත්තු දෙන සහ කෙටි කාලීන බෝග වර්ග හරහා වගාව පුළුල් කිරීමත්, පසෙහි සෞඛ්‍යය සහ ක්ෂේත්‍ර ජලාපවහනය අත්‍යවශ්‍ය ඵලදායී යටිතල පහසුකම් ලෙස සැලකීමත් මින් අදහස් කෙරේ. තවද, සත්ත්ව පාලනය සහ ධීවර කර්මාන්තය කෙරෙහි මීට වඩා වැඩි අවධානයක් යොමු කිරීම ද මින් අදහස් කෙරේ. එහිදී වඩාත් ආරක්ෂිත ස්ථානවල ගංවතුර මට්ටමට ඉහළින් පිහිටි වාසස්ථාන (Elevated shelters) ඉදිකිරීම, සත්ත්ව ආහාර ගබඩා ආරක්ෂා කිරීම සහ වඩා හොඳින් සැලසුම් කළ පොකුණු වැනි සරල පියවර මගින් වළක්වා ගත හැකි හානි අවම කර ගත හැකිය.

    දෙවනුව, අප යටිතල පහසුකම් යළි ගොඩනැගීමේදී අතීතයේ පැවති ප්‍රමිතීන්ම අනුගමනය කිරීම නතර කළ යුතුය. වාරිමාර්ග සහ ජලාපවහන ජාල, ග්‍රාමීය මාර්ග, පාලම්, ගබඩා පහසුකම් සහ වෙළඳපොළ ප්‍රවේශයන් යනු හුදෙක් සංවර්ධන වත්කම් පමණක් නොවේ; ඒවා අවදානම් කළමනාකරණ පද්ධති ද වේ. සෑම ප්‍රධාන අලුත්වැඩියාවක්ම සරල ප්‍රශ්නයක් හරහා විමසා බැලිය යුතුය: එනම් මෙම ආයෝජනය අද සහ හෙට පවතින වර්ෂාපතන රටාවන් යටතේ අවදානම අඩු කරන්නේද, එසේ නැතිනම් එය ඉදිරි වසර 20 සඳහා ද අවදානම එලෙසම රඳවා තබා ගන්නේද යන්නයි. සැලසුම් නිර්ණායක (Design standards) සකස් කළ යුත්තේ ඓතිහාසික සාමාන්‍ය අගයන් මත නොව, පුරෝකථනය කරන ලද තීව්‍රතාව මත පදනම්වය. පෝෂක ප්‍රදේශයේ සිට ගොවිබිම දක්වා (Catchment-to-field) ජල කළමනාකරණය සිදු කිරීමේදී ඉංජිනේරුමය විසඳුම් සමඟ ස්වාභාවික බාධක ඒකාබද්ධ කළ යුතුය. ජල පහරේ වේගය, ඛාදනය සහ රොන්මඩ එකතුවීම අවම කරන තෙත්බිම්, ගංගා රක්ෂිත සහ කඩොලාන ඊට ඇතුළත්ය. වඩාත්ම වැදගත් කරුණ වන්නේ, ආපදා තොරතුරු බලාත්මක කළ හැකි ඉඩම් පරිහරණ තීරණ බවට පරිවර්තනය වීමයි. යළි ගොඩනැගීම් නොකළ යුතු ස්ථාන හඳුනා ගැනීම සහ ජනතාවට ආරක්ෂිතව නැවත පදිංචි වීමට හෝ ජීවනෝපායන් වෙනස් කර ගැනීමට සාධාරණ සහායක් ලබා දීම සහ ඒ සඳහා ස්ථාන හඳුනා ගැනීම ද ඊට ඇතුළත්ය.

    තෙවනුව, ගොවීන්, වෙළඳපොළ සහ රජය අතර අවදානම වඩාත් සාධාරණ අන්දමින් බෙදා කළමනාකරණය කල යුතුය. දේශගුණික කම්පනයක් ග්‍රාමීය පවුල්වල ණය අර්බුදයක් බවට කොපමණ ඉක්මනින් පත්වන්නේද යන්න දිට්වා කුණාටුව මගින් අනාවරණය විය. ආපදාවකින් පසු ඉක්මනින් සහනාධාර (Liquidity) ලැබීම පහසු දෙයක් නොවේ; යථා තත්ත්වයට පත්වීම සහ දිගුකාලීන දිළිඳුකම අතර වෙනස තීරණය වන්නේ එය මතය. වගා රක්ෂණ ක්‍රම වී වගාවෙන් ඔබ්බට පුළුල් කළ යුතු අතර ඊට ඉහළ වටිනාකමක් ඇති බෝග ද ඇතුළත් කළ යුතුය. තවද, වන්දි මුදල් කඩිනමින් ලබා දිය හැකි ආකාරයට ඒවා වැඩිදියුණු කළ යුතුය. ජාතික මට්ටමේදී, කඩිනමින් ක්‍රියාත්මක වන ආපදා මූල්‍යකරණය (Rapid-trigger disaster financing) හරහා අයවැය සැලසුම් අවුල් නොකර, මූලික අදියරේ යථා තත්ත්වයට පත්වීම් සඳහා සහාය වීමට ක්ෂණික රාජ්‍ය මූල්‍ය අවකාශයක් ලබා දිය හැකිය. පද්ධතිමය වෙනසක් සිදු නොවන, විසිරුණු ව්‍යාපෘති සඳහා රාජ්‍ය අරමුදල් සහ සහනදායී දේශගුණික මූල්‍ය පහසුකම් ලබා දීම වෙනුවට, ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරන පැහැදිලි ආයෝජන මාලාවක් (Pipeline of resilience investments) වෙත ඒවා යොමු කළ යුතුය.

    හතරවනුව, පූර්ව අනතුරු ඇඟවීම් අවසානයේදී පූර්ව ක්‍රියාමාර්ග බවට පත්විය යුතුය. අපට අවශ්‍ය වන්නේ වඩා හොඳ අනාවැකි පමණක් නොවේ. ජලාශ මට්ටම්, ගංවතුර අවදානම සහ බීජ, යෙදවුම් හා පශු සම්පත් ආරක්ෂා කර ගැනීමේ ප්‍රායෝගික අවශ්‍යතාවලට සම්බන්ධ වූ, ගොවීන්ට ක්‍රියාත්මක කළ හැකි පැහැදිලි සහ ප්‍රාදේශීය මට්ටමේ උපදෙස් අපට අවශ්‍ය වේ. දේශගුණයට හිතකර භාවිතයන් (Climate-smart practices) සහ අවදානම් අවම කිරීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබා දෙමින්, කෘෂිකර්ම ව්‍යාප්ති සේවාවන් දේශගුණික විපර්යාස පවතින යුගයකට ගැලපෙන පරිදි උසස් කළ යුතුය. කාලගුණ විද්‍යා, වාරිමාර්ග, කෘෂිකර්ම සහ සමාජ ආරක්ෂණ යන අංශවල දත්ත පද්ධති එකිනෙක සම්බන්ධ වී තිබිය යුතුය. එමගින් හානි සිදුවී අවසන් වූ පසු ආධාර එක්රැස් කරනවා වෙනුවට, යම් සීමාවන් ඉක්මවා ගිය වහාම කඩිනමින් සහාය ලබා දීමට හැකි වනු ඇත.

    ප්‍රායෝගිකව මින් අදහස් කෙරෙන්නේ කුමක්ද? ඉදිරි මාස කිහිපය තුළ ප්‍රමුඛ වාරිමාර්ග සහ ජලාපවහන කටයුතු "යළි වඩාත් හොඳින් ගොඩනැගීමේ" (Build-back-better) ප්‍රමිතීන්ට අනුකූලව නිම කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. බීජ පමණක් නොව පස සහ ජලාපවහන පියවර ද ඇතුළත් නැවත වගා කිරීමේ පැකේජ සඳහා සහාය වීමත්, වඩාත් අවදානමට ලක්විය හැකි පවුල් සඳහා තාවකාලික රැකවරණය ලබා දී ඔවුන් පීඩාවට පත්වීම වැළැක්වීමත් ඊට ඇතුළත් විය යුතුය. ඉදිරි වසර කිහිපය තුළ, තෝරාගත් ගංගා ද්‍රෝණිවල දේශගුණයට හිතකර නිෂ්පාදන සහ උපදේශන සේවා පැකේජ හඳුන්වා දීමට ඉලක්ක කළ යුතුය. කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගත් පශ්චාත් ආපදා ඇගයීම්, මූල්‍ය ප්‍රතිපාදන සහිත සැලසුම් බවට පරිවර්තනය කිරීම ආයතනගත කළ යුතුය. එසේම සුළි කුණාටු අවදානම සහිත දිස්ත්‍රික්කවල කම්පනවලට ප්‍රතිචාර දක්වන සමාජ ආරක්ෂණ ජාල (Shock-responsive safety nets) සහ කඩිනමින් ක්‍රියාත්මක වන රක්ෂණ ක්‍රම නියමු ව්‍යාපෘති ලෙස ආරම්භ කළ යුතුය. දිගුකාලීනව, නිරන්තරයෙන් හානි සිදුවන කලාප ගංවතුරට ඔරොත්තු දෙන පද්ධති සහ බෑවුම් ස්ථාවර කරන බහුවාර්ෂික බෝග වගාවන් වෙත යොමු කළ යුතුය. එමෙන්ම පෝෂක ප්‍රදේශ පුනරුත්ථාපනය කිරීම සහ ස්වාභාවික යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීම විකල්ප පාරිසරික එකතු කිරීම් ලෙස නොව, ඵලදායිතා ආයෝජන ලෙස සැලකිය යුතුය.

    මේ කිසිවක් වියුක්ත අදහස් නොවේ. ක්‍රියාමාර්ග නොගැනීමේ වන්දිය ගෙවීමට සිදුවන්නේ අසාර්ථක අස්වැන්න, අහිමි වූ ආදායම, ඉහළ යන ආහාර මිල ගණන් සහ උග්‍ර වන ග්‍රාමීය ණය බර හරහාය. අප ඉදිරියේ ඇති අවස්ථාව ද ඉතා සංයුක්තය: ශ්‍රී ලංකාව දිට්වා කුණාටුවෙන් පසුව එළඹෙන කාලය කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට යොදා ගන්නේ නම්, එමගින් නිෂ්පාදනය වඩාත් ඔරොත්තු දෙන තත්ත්වයටත්, යටිතල පහසුකම් වඩාත් සුහුරු (Smart) තත්ත්වයටත්, මූල්‍ය කටයුතු වඩාත් වේගවත් තත්ත්වයටත්, ආයතන වඩාත් ප්‍රතිචාරාත්මක තත්ත්වයටත් පත් කළ හැකිය. එවිට දිට්වා යනු හුදෙක් ආපදාවක් පමණක් නොවනු ඇත. එය රටේ අවදානම් සහගත බව සම්බන්ධ අලුත්වැඩියා කිරීම් නතර කර, ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම ආරම්භ කිරීමට තීරණය කරන තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත්විය හැකිය.

    Video Story

    Stock Market

    Exchange Rates