සංවර්ධන ඉලක්ක කඩිනමින් සපුරාලීම පිළිබඳ, ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

    August, 31, 2016

    ණය ගැනීමේ දී ලබා දුන් සංවර්ධන ඉලක්ක ශ්‍රී ලංකාව කඩිනමින් සපුරාලමින් සිටින බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපතිනි ඇනට් ඩික්සන් (Annette Dixon) මහත්මියකියා සිටියේ වත්මන් පාලනය යටතේ රට තුළ පවතින මූල්‍ය විනය ඊට හේතුවී ඇති බවයි. ඇය මේ බව සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ පැවැති විශේෂ හමුවක දී ය. මෙම හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඩික්සන් මහත්මියගේ මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාව වෙත ලබා දුන් ණය, සංවර්ධන ක්‍රියාවලිය සඳහා යොදවා ගෙන ඇති ආකාරය නිරීක්ෂණය කිරීම ය.

    ශ්‍රී ලංකාව ඉතා කඩිනමින් සිය ඉලක්ක සපුරාලීම හේතුවෙන් තව දුරටත් සහයෝගය ලබා දීම සිදු කළ හැකි බව පෙන්වා දුන් ඇය, සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම සම්බන්ධයෙන් මෙහි දී ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළ කළා ය.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි දී කියා සිටියේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකාව තුළ මුල්‍ය විනය සහ විනිවිදභාවය ශක්තිමත් කරමින් දීර්ඝ කාලීන ආර්ථික සංවර්ධන ව්‍යාපෘති පවත්වාගෙන යන බවයි. සංවර්ධන ව්‍යාපෘති තව දුරටත් කඩිනම් කිරීම අපේක්ෂාව බවත්, ඒ සඳහා ලෝක බැංකුව වැනි ආයතනවලින් ලැබෙන සහය අතිශය අගය කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    මෙම අවස්ථාවට ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහවු, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් එස්. ආර්. ආටිගල, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.