September, 1, 2016
වසරේ පළමු මාස හත තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් කෙටි කාලීන පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන අතර එමගින් මූල්‍ය අංශයේ ණය අනුපාතික සහ තැන්පතු අනුපාතිකවල තියුණු ඉහළ යෑමක් වාර්තා වී ඇත.
මේ අතර 2016 ජූනි මාසය තුළ දී මුදල් ප්‍රසාරණය අඛණ්ඩව ඉහළ අගයයක පැවතිණි. වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය සඳහා සපයන ලද ණය ප්‍රමාණයෙහි වාර්ෂික ලක්ෂ්යමය වර්ධනය, පෙර මාසයේ වාර්තා කරන ලද සියයට 28.0 ට සාපේක්ෂව 2016 ජූනි මාසයේ දී සියයට 28.2 ක සැලකිය යුතු ඉහළ අගයකින් වර්ධනය විය.
කාර්මික සහ සේවා යන අංශ සඳහා ලබාදුන් ඉහළ ණය ප්‍රමාණය මෙන්ම පෞද්ගලික ණය සහ අත්තිකාරම් හි සැලකිය යුතු වර්ධනය හේතුවෙන් වසරේ පළමු භාගය තුළ දී දේශීය ණය ප්‍රසාරණය විය.
මෙම වර්ධනයන් පිළිබිඹු කරමින් පුළුල් මුදල් සැපයුමේ වර්ධනය පෙර මාසයේ වාර්තා කරන ලද සියයට 16.5 සිට 2016 ජූනි මාසයේ දී සියයට 17.0 දක්වා ඉහළ ගියේය.
තාවකාලික දත්තවලය අනුව 2016 ජූලි මාසයේ දී ද පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය සහ පුළුල් මුදල් සැපයුම ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය දා සිදුකරන ලද 2016 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති විවරණය මගින් මෙම කරුණු අනාවරණය කර තිබේ.