September, 2, 2016
අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය අනතුරු අඟවයි
එළඹෙන දෙසැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිත ඉන්දියන් චැම්පියන්ස් ලීග් (Indian Champions League - ICL) ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමේ දී දෙවරක් සිතා බලන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය තම සාමාජික ක්‍රීඩකයින්ට අනතුරු ඇගවීමක් කර තිබේ. මෙම සංගමය වැඩිදුරටත් මෙහිදී කියා සිටින්නේ මෙම තරඟාවලියට එක්වන ක්‍රීඩකයින්ගේ වෘත්තීයමය ක්‍රිකට් ජීවිතයට මෙමඟින් අහිතකර බලපෑමක් විය හැකි බවයි. මීට හේතු වී ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙතෙක් මෙය අනුමත නොකරන ලද ක්‍රිකට් තරඟාවලියක් වීමයි.
අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය එක් එක් රටවල ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගම්වල නියෝජිතත්වය දරන ගෝලීය සම්මේලනය වන අතර ඉන්දියාව, පාකිස්තානය හා සිම්බාබ්වේ රටවල් හැරෙන්න සෙසු සියලු රටවල නියෝජිතත්වය මීට හිමිය.
2016 දෙසැම්බර් 25 වන දා සිට 2017 ජනවාරි 25 වන දා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත මෙම තරඟාවලිය සංවිධානය කරනු ලබන්නේ Magpie Group නම් ඉන්දියානු සමාගමක් විසිනි. ඊට පරිදි මෙම තරගමාලාව සඳහා කණ්ඩායම් 8 ක් එක්වන අතර එම් කණ්ඩායම් නම් කර ඇත්තේ Delhi Badshah, Indore Rockets, Mumbai Star, Chennai Warriors, Hyderabad Riders, Bangalore Tigers, Lucknow Superstar සහ Chandigarh Heroes ලෙසිනි. තරඟාවලිය තරග 47 කින් සමන්විතය.
Indian Champions League ෆේස්බුක් පිටුවට අනුව මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින ක්‍රීඩකයින් රැසක් මෙන්ම තවමත් ක්‍රිකට් පිටියේ රැඳී සිටින ක්‍රීඩකයින් රැසක් තරඟාවලියට එක්වන බව තහවුරු කර තිබේ. සනත් ජයසූරිය, චමින්ද වාස්, දිල්හාර ප්‍රනාන්දු, ෂිවනරීන් චන්ද්‍රපෝල්, සල්මන් බට්, ජස්ටින් කෙම්ප්, හර්ෂල් ගිබ්ස්, සිකන්දර් රාසා, හැමිල්ටන් මසකඩ්සා, ඩැරල් ටෆී, කම්රාන් අක්මාල්, ඉම්රාන් ෆර්හාට්, රවී බොපාරා, රයන් ටෙන් ඩොස්කේට්, ෂෝන් විලියම්ස්, වේන් පාර්නෙල් ඒ අතුරින් කිහිප දෙනෙකි. කෙසේ වෙතත් නම් දැරූ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයින් කිසිවකුත් මීට එක්වන බවක් මෙතෙක් ප්‍රකාශ වී නොමැත.
මෙම ක්‍රීඩකයින් සමඟ තරඟාවලිය සඳහා එළෙඹි කොන්ත්‍රාත් වටිනාකම් ද Indian Champions League ෆේස්බුක් පිටුව විසින් අනාවරණය කර තිබේ. පහත දැක්වෙන්නේ සනත් ජයසූරිය වෙනුවෙන් එලෙස ගිවිසුම්ගත කොන්ත්‍රාත්තුවේ සටහනකි.

කෙසේ වෙතත් ESPNcricinfo වෙබ්අඩවිය සඳහන් කරන්නේ මෙම තරඟාවලිය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමිනොවන්නේ නම් බොහෝ ක්‍රීඩකයින් පිරිසක් ඊට එක්නොවන බවට ප්‍රකාශ කර ඇති බවයි.
පහත දැක්වෙන්නේ Indian Champions League සඳහා ක්‍රීඩකයින් ලියාපදිංචි කරනු ලබන අයදුම්පත්රයයි.
