රේගු ආඥාපනත සංශෝධනයට පිඹුරුපත් සැකසෙයි

    June, 9, 2026

    මෙරට ගෝලීය මට්ටමේ ආදායම් පරිපාලන යාන්ත්‍රණයන් නිර්මාණය කිරීම සහ ස්ථාපනය කිරීම අරමුණු කර ගනිමින්, ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය ස්ථාපිත කිරීමටත්, ඒ යටතේ රේගු, දේශීය ආදායම් සහ සුරාබදු යන දෙපාර්තමේන්තු සඳහා වෙන් වෙන් වශයෙන් මෙහෙයුම් කමිටු පත් කිරීමටත් 2025-05-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, රේගු කටයුතු සම්බන්ධයෙන් වන මෙහෙයුම් කමිටුව විසින් ශ්‍රී ලංකා රේගුව තුළ ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිව්‍යුහගත කිරීම් සහ නවීකරණ කටයුතු පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

    එසේම, එම කමිටුව විසින් රේගු ආඥාපනත ගැඹුරින් අධ්‍යයනය කර, යල් පැන ගිය විධිවිධාන හඳුනා ගැනීම, කාලානුරූපව සංශෝධනය කළ යුතු ප්‍රතිපාදන තීරණය කිරීම, ව්‍යාපාරික ප්‍රජාව, ආනයන හා අපනයන ක්ෂේත්‍රයේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් රේගු ආඥාපනත සඳහා අවශ්‍ය සංශෝධන නිර්දේශ කිරීම පිණිස විශේෂ කමිටුවක් පත් කළ යුතු බවට නිර්දේශ කරනු ලැබ ඇත.

    ඒ අනුව, ජනාධිපති නීතිඥ විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව අදාළ සියලු ක්ෂේත්‍රයන් නියෝජනය වන පරිදි රේගු ආඥාපනත සමාලෝචන කමිටුව පත් කරනු ලැබ තිබේ. එම කමිටුව විසින් මාස 07කට ආසන්න කාලයක් අඛණ්ඩව රැස් වී අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

    එම වාර්තාවේ නිර්දේශ මත පදනම්ව, රේගු ආඥාපනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන‌ ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates