ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, සිංගප්පූරුවේ සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ කාර්යාලය සමඟ අන්‍යොන්‍ය අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

    September, 22, 2016

    2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධ ඒකකය (FIU – Sri Lanka) සිංගප්පූරුවේ සැකකටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ කාර්යාලය (STRO) සමග 2016 සැප්තැම්බර් 01 වන දින අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. අන්‍යොන්‍ය අවබෝධතාවය සහ එකිනෙකා පිළිබඳව දක්වන සහයෝගීතාවය සහ සැලකිල්ල පදනම් කරගෙන, එක් එක් ආයතනයට අදාළ ජාතික ව්‍යවස්ථාපිත රාමුව තුළ හිඳිමින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීමට අදාළව පරීක්ෂණ සහ නඩු පැවරීම්වලට තොරතුරු හුවමාරු කර ගැනීමට අවස්ථාවක් සලසා දීම මෙම අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමේ මූලික පරමාර්ථය වේ.

    මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම යනු ජාත්‍යන්තර වශයෙන් එකිනෙකට සම්බන්ධ වන මූල්‍ය අපරාධයන් වන අතර එමගින් ගෝලීය ආර්ථිකයේ සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවයට තර්ජනයක් එල්ලවීමේ හැකියාව ඇත.

    එබැවින්, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට විරුද්ධව කටයුතු කිරීම සඳහා මූල්‍ය බුද්ධි ඒකකයන් අතර ගෝලීය සම්බන්ධීකරණයක් පැවතීම අත්‍යවශ්‍ය වේ. මේ අනුව, පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා සිංගප්පූරුවේ සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ කාර්යාලය සමග අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම ද ඇතුළත්ව විදේශීය මූල්‍ය බුද්ධි ඒකකය මේ වන විට අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇත.