July, 15, 2026
ශ්‍රි ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම (National System Operator -NSO) විසින් දිවයින පුරා පිහිටි උපපොළවල් 25 ක මෙගාවොට් 250 / මෙගාවොට් පැය 1000ක ධාරිතාවයකින් යුත් ස්වාධීන බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (Battery Energy Storage System - BESS) සංවර්ධනය කිරිම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීම ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතිය ඉදිකිරිම් හිමිකාරිත්වය සහ ක්‍රියාත්මක කිරිම (Build, Own and Operate- BOO) පදනම මත වසර 15 ක බලශක්ති ගබඩා ගිවිසුමක් (Energy Storage Agreemeent) යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිතය. මෙහිදී දිවයින පුරා තෝරාගත් විදුලිබල උපපොළවල් 25 කදී මෙගාවොට් 10 සහ මෙගාවොට් 40 බැගින් වූ කොටස් (Blocks)මෙම පද්දති ස්ථාපනය කිරිමට සැලසුම් කර ඇත.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) පෙන්වා දෙන පරිදි, වර්තමානයේ ලොව වේගයෙන් වර්ධනය වන බලශක්ති තාක්ෂණය බැටරි ගබඩාකරණයයි. 2025 වසරේදී පමණක් ගෝලීය වශයෙන් නව බැටරි ධාරිතාවය ගිගාවොට් 108 කින් (සියයට 40 ක වර්ධනයක්) ඉහළ ගොස් ඇත. සූර්ය හා සුළං බලශක්තියේ ඇති විභවතාවය කළමනාකරණය කරමින් විදුලිබල පද්ධතිය ස්ථාවර කිරිමටත්, උපරිම ඉල්ලුම පවතින කාල සීමාවන් පාලනය කිරිමටත් බැටරි තාක්ෂණය ඉතාමත් අවශ්‍යය වේ.
ශ්‍රි ලංකාවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සහ තිරසාර ඉලක්ක:
70%ක පුනරජනනීය බලශක්ති ඉලක්කය :
2030 වසර වන විට රටේ විදුලි උත්පාදනයෙන් 70% ක් පුනරජනනීය බලශක්ති
ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම.
දේශීය සම්පත් උපරිම කිරීම :
ආනයනික පොසිල ඉන්ධන මත යැපීම 50% ට වඩා අඩු කිරීම සහ බලශක්ති
කාර්යක්ෂමතාවය 20 % කින් ඉහළ නැංවීම
කාබන් මත ගොඩනැගුනු බලශක්ති භාවිතය අවම කිරීම (Net Zero) :
පරිසර අමාත්‍යාංශයේ 2050 ශුන්‍ය කාබන් මාර්ග සිතියම යටතේ 2050 වන විට කාබන් උදාසීන රටක් බවට පත්විම.
පාරිසරික අංශයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) ද පෙන්වා දෙන පරිදි, වේගවත් සහ විශ්වාසදායක කාබන්හරණය රටේ අපනයන ක්ෂේත්රයේ ප්‍රගතියට මෙන්ම සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කරගැනීමට අතිශය තීරණාත්මක සාධකයකි. Apple, Google, Tata Motors වැනි RE 100 ගෝලීය සංවිධානයේ ප්‍රධාන සමාගම් සිය සැපයුම්දාමයන් සඳහා 100% ක් පුනර්ජනනීය බලශක්ති භාවිතය අනිවාර්ය කර ඇත. එබැවින් මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රි ලංකාවේ විදුලිබල පද්ධතිය තවදුරටත් ශක්තිමත් වන අතර එය ගෝලීය ආයෝජකයින්ට ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කිරීමට ඉවහල් වන පැහැදිලි සංඥාවකි.
මෙමඟින් කරමාන්තශාලාවලට පමණක් නොව දෛනික ජන ජීවිතයට,රොහල්වලට මෙන්ම කුඩා ව්‍යාපාර සඳහා ද වඩාත් ස්ථාවර හා අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කෙරේ. මෙම ජාත්‍යන්තර ලංසු කැඳවීම හරහා ශ්‍රී ලංකාව පරිසර හිතකාමී, හරිත සහ වඩාත් තරඟකාරී ආයෝජන පරිසරයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.
Video Story