කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු ඉහළ යාමක්. පිරිවැටුම රු. බිලියන 2 පනී

    July, 27, 2026

    මැදපෙරදිග යුධමය වාතාවරණය තාවකාලික සමනය වීමක් පෙන්නුම් කිරීමත් සමඟම ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වල කැපීපෙනෙන පහළ යාමක් අද (27) වාර්තා විය. මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමත් සමගම ගෝලීය ඉන්ධන මිල සහ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අතර පැහැදිලි ප්‍රතිලෝම සහසම්බන්ධයක් නිරන්තරයන් නිරීක්ෂණය කළ හැකි වූ අතර ඊට තවදුරටත් සාක්ෂි සපයමින් අද දිනයේ දීද කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා කළේය.

    දිනයේ ගනුදෙනු ආරම්භ වී මුල් පැය ඇතුළත ඒකක 100ක් ඉක්මවා සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයක් වාර්තා වුවද දිනය අවසාන වන විට එය ඒකක 14.48ක වර්ධනයක් සනිටුහන් කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,187.22ක් ලෙසින් සටහන්ව තිබුණි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 6.18ක වර්ධනයක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 5,948.74ක් ලෙසින් වාර්තා විය.

    අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.07ක් ලෙසින් වාර්තා වුණි. එහිදී ගිවිසා ගනු ලැබූ ගනුදෙනු ද ඇතුළත්ව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි රු. මිලියන 661ක වටිනාකමකින් යුතු කොටස් ප්‍රමාණයක් හුවමාරු වී තිබීම, දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දීමට සමත්ව තිබුණි. මීට අමතරව සම්පත් බැංකුව (රු. මිලියන 139), HNB (රු. මිලියන 134), හේලීස් (රු. මිලියන 132) හා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (රු. මිලියන 131) දෛනික පිරිවැටුමට රු. මිලියන 100 ඉක්මවා දායකත්වයක් ලබා දීමට සමත් වූ සෙසු සමාගම් විය.