ශ්‍රී ලංකාවේ Virtual Assets නියාමන වගකීම සුරැකුම්පත් හා විනිමය කොමිසමට

    July, 28, 2026

    දැනටමත් ශ්‍රී ලංකාවේ පරිශීලකයින්හට අක්වෙරළ හුවමාරු සහ පුද්ගලයන් අතර ඍජුව සිදු කෙරෙන ගනුදෙනු මඟින් අවිධිමත් මාර්ගගත වේදිකා හරහා අතථ්‍ය වත්කම් (Virtual Assets) එනම්, 'ක්‍රිප්ටෝ' ව්‍යවහාර මුදල් වැනි ඩිජිටල් ආකාරයෙන් වෙළෙඳාම් කළ හැකි හෝ මාරු කළ හැකි ගෙවීම් හෝ ආයෝජන අරමුණු සඳහා භාවිත කළ හැකි වටිනාකමකින් යුත් ඩිජිටල් නිරූපණ වෙත ප්‍රවේශවීමේ හැකියාව පවතී.

    එම වේදිකාවන් සම්පූර්ණයෙන්ම දේශීය නියාමන බල රාමුවෙන් පිටත ක්‍රියාත්මක වන බැවින්, අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් (Virtual Assets Service Providers) මූලික අනුකූලතා බැදීම්, වාර්තාකරණ ප්‍රමිතීන් හෝ අධීක්ෂණය සඳහා ලියාපදිංචි අවශ්‍යතා නොමැතිව ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය වේ.

    ඒ හේතුවෙන්, ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුළ මූල්‍ය අපරාධ සිදු වීමට පවතින අවදානම සැලකිල්ලට ගෙන, අතථ්‍ය වත්කම් සහ අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් සඳහා නියාමන රාමුවක් සහ නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. එබැවින්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා වන ජාතික සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රතිපත්ති මඟ පෙන්වීම යටතේ, අතථ්‍ය වත්කම් සහ සේවා සපයන්නන් සඳහා නියාමන රාමුවක් සහ ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් හඳුනා ගැනීම පිණිස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් සහ අනෙකුත් අදාළ නිලධාරින්ගෙන් සමන්විතව අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් පිළිබඳ උප කමිටුවක් පිහිටුවා තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව, මූල්‍ය බුද්ධි ඒකකය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව සම්බන්ධීකරණය කරන ලද අධීක්ෂණ ව්‍යුහයක් තුළ, අතථ්‍ය වත්කම් සහ අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් සඳහා නියාමන බලධරයා ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නම් කිරීමට එම උප කමිටුව විසින් යෝජනා කරනු ලැබ ඇත.

    ඒ අනුව, එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය වත්කම් සහ අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් නියාමනය කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන හඳුන්වා දීමට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.