ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය මෙරට ඖෂධ ක්ෂේත්‍රයේ ස්වයංපෝෂිතභාවය සහ ගෝලීය තරගකාරීත්වයට මුහුණ දීම උදෙසා වන ක්‍රමෝපායික සැලසුම ඉදිරියට ගෙන යාමේ ජාතික අවශ්‍යතාව  අවධාරණය කරයි

    July, 31, 2026

    ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ [Sri Lanka Pharmaceutical Manufacturers' Association (SLPMA)] වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා ‘ජාතික කැඳවීම ඉදිරියට ගෙන යාම’ (Taking the National Call Forward) යන තේමාව යටතේ පැවැත්විණි. එය ශ්‍රී ලංකාව ඖෂධ නිෂ්පාදනය අතින් ස්වයංපෝෂිත රටක් බවට පත් කිරීම සහ විශ්වාසනීය ඖෂධ නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස මෙරට සතු පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එම සංගමය දක්වන උනන්දුව හා කැපවීම යළි තහවුරු කළ අවස්ථාවක් විය.

    පසුගිය වසරේ SLPMA විසින් හඳුන්වා දෙන ලද "ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා රැකවරණය, විශ්වාසය, සහ එකමුතුකම සමඟින් ජාතික මට්ටමේ කැඳවීමක් " යන තේමාව ඉදිරියට ගෙන යාමක් වූ මෙවර වාර්ෂික මහා සභා රැස්වීමේදී, කර්මාන්තයේ දීර්ඝකාලීන දැක්ම ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරිණි. ප්‍රබල ප්‍රතිපත්තිමය සහාය, නියාමන රාමු සක්‍රීය කිරීම, ගුණාත්මකභාවය සහ අඛණ්ඩතාව සඳහා කර්මාන්ත අංශයේ කැපවීම, මානව කුසලතා වර්ධනය සහ පර්යේෂණ සහ සහාය කර්මාන්ත සඳහා ආයෝජනය කිරීම යන ප්‍රධාන ක්‍රමෝපායික මානයන් පහ සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.

    වාර්ෂික මහා සභා රැස්වීමේදී SLPMA හි සභාපතිවරයා ලෙස තේරී පත් වූ Morison Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ දිනේෂ් අතපත්තු මහතා මෙසේ පැවසීය:

    “අප නිෂ්පාදනය කරන සෑම ඖෂධයකම ජීවිතයක් රැක ගැනීමේ හෝ ජීවිතයක ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ හැකියාව තිබිය යුතුයි. ඖෂධ කර්මාන්තය යනු සුවිශේෂී වගකීමක් දරන කර්මාන්තයක්. එබැවින් ශ්‍රී ලංකාවේ ජනතාවට සුරක්ෂිත, උසස් තත්ත්වයේ සහ දැරිය හැකි මිලකට අඛණ්ඩව ඖෂධ ලබාදීම සඳහා කර්මාන්තයක් ලෙස අප පූර්ණ වශයෙන් කැප විය යුතුයි.

    “ගෝලීය වශයෙන් තරගකාරී ඖෂධ කර්මාන්තයක් ගොඩනැංවීම සඳහා නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම, නව නිෂ්පාදන හඳුන්වා දීම සහ අපනයන හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීම අවශ්‍ය වන අතර, ඒ සඳහා පැහැදිලි සහ ස්ථාවර ජාතික ප්‍රතිපත්ති රාමුවක් තිබිය යුතු වනවා. කලාපයේ රටවල් රැසක ඖෂධ කර්මාන්තය පරිවර්තනයකට ලක් කිරීමේදී කර්මාන්තය සහ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර ශක්තිමත් අවබෝධයක් පැවතීම තීරණාත්මක සාධකයක් බවට පත් වූවා. නිවැරදි දීර්ඝකාලීන දැක්මක් සහ සහයෝගී ප්‍රවේශයක් තුළින්, ශ්‍රී ලංකාවේ ඖෂධ සුරක්ෂිතතාව තවදුරටත් ශක්තිමත් කිරීමට, වටිනා විදේශ විනිමය ඉතිරි කර ගැනීමට සහ විදේශ විනිමය උපයා ගැනීමට, ඉහළ වටිනාකමක් සහිත රැකියා අවස්ථා බිහි කිරීමට, අපගේ දක්ෂතම වෘත්තිකයන් රට තුළ රඳවා ගැනීමට මෙන්ම විශ්වාසනීය ඖෂධ අපනයන කර්මාන්තයක් ලෙස ස්ථාපිත වීමට අපට පුළුවන්.”

    වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඖෂධ වෙළෙඳපොළේ වටිනාකම ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක් පමණ වන අතර, ඉන් 40%ක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහාත්, 60% ක් පෞද්ගලික අංශය හරහාත් උපයාගනු ලැබේ. 2015 වසරේ සහතික කළ ප්‍රතිමිලදීගැනීම් ගිවිසුම (Guaranteed Buyback Agreement) හඳුන්වා දීමෙන් අනතුරුව, දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් රජය සිදුකරන මිලදීගැනීම් ප්‍රමාණය 5% සිට 30% කට ආසන්න මට්ටමක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් නවීන ඖෂධ නිෂ්පාදන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධික ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකි වී ඇත.

    මෙම ප්‍රගතිය දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ හැකියාව මැනැවින් පෙන්නුම් කළද, දැනට දේශීය නිෂ්පාදකයන් සපුරාලන්නේ පෞද්ගලික අංශයේ ඖෂධ ඉල්ලුමෙන් 5%ක් පමණි. මින් පෙනී යන්නේ, අවධාරණය කරන ලද නිසි ප්‍රතිපත්තිමය සහය සහ කර්මාන්තය අඛණ්ඩව දියුණු කිරීම තුළින් දේශීය වෙළඳපොළ තුළ සාර්ථක වීම සඳහා විශාල ඉඩකඩක් විවෘත කර ගත හැකි  බවයි.

    මේ දක්වා සැලකිය යුතු මට්ටමේ ප්‍රගතියක් අත්කරගෙන තිබුණද, සහතික කළ ප්‍රතිමිලදීගැනීම් ගිවිසුම කල් ඉකුත් වීම ඇතුළු ප්‍රායෝගික අභියෝග සහ ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතා රැසකට දේශීය ඖෂධ නිෂ්පාදකයන් තවදුරටත් මුහුණ දෙමින් සිටින අතර, මෙම තත්ත්වය ආයෝජකයන්ගේ විශ්වාසය සහ උනන්දුව අඩු වීමට බලපා ඇත. එබැවින් නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම, නව නිෂ්පාදන හඳුන්වා දීම, නිසි නියාමනය සහ අපනයන වෙළෙඳපොළ ව්‍යාප්තිය සඳහා අඛණ්ඩ ආයෝජන සිදු කිරීම ඔස්සේ කර්මාන්තයට අවශ්‍ය වන ස්ථාවරත්වය ඇතිකිරීමට නම්, පැහැදිලි, දීර්ඝකාලීන ජාතික සැලසුමක් අත්‍යවශ්‍ය වේ.

    සහතික කළ ප්‍රතිමිලදීගැනීම් ගිවිසුම දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ වර්ධනය වේගවත් කිරීම සඳහා හඳුන්වා දුන් ක්‍රමෝපායික දිරිගැන්වීමක් මිස ස්ථිර ක්‍රමවේදයක් නොවන බව ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය පිළිගන්නා අතරම  කර්මාන්තයේ දීර්ඝකාලීන අරමුණ වන්නේ ස්වකීය හැකියාවන් මත තරගකාරීත්වය ගොඩනංවා ගැනීම, පෞද්ගලික වෙළෙඳපොළ තුළ සිය පැවැත්ම තවදුරටත් ව්‍යාප්ත කිරීම සහ ශ්‍රී ලංකාව විශ්වාසනීය ඖෂධ අපනයනකරුවෙකු ලෙස ස්ථානගත කිරීමය.

    කෙසේ වෙතත්, මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා අඛණ්ඩ සහ දිගුකාලීන  ආයෝජනයන්  අවශ්‍ය වේ. බොහෝ කර්මාන්තවලට සාපේක්ෂව ඖෂධ නිෂ්පාදනය යනු වඩාත් සංකීර්ණ ක්‍රියාවලියකි. එයට නව නිෂ්පාදන සංවර්ධනය, තාක්ෂණ හුවමාරු ක්‍රියාවලීන්, ජාත්‍යන්තර නියාමන අනුමැතිය සහ ගෝලීය ප්‍රමිතීන්ට අදාළ සහතිකකරණයන් වැනි අදියර රැසක් ඇතුළත් වන අතර, වාණිජ ප්‍රතිලාභ අත්කර ගැනීමට පෙර මේ සියල්ල සඳහා සැලකිය යුතු ප්‍රාග්ධන ආයෝජන, විශේෂඥ දැනුම සහ දීර්ඝ කාලසීමාවන් අවශ්‍ය වේ.

    එබැවින්, සහතික කළ ප්‍රතිමිලදීගැනීම් ගිවිසුම වැනි විධිමත් අන්තර්වාර සහය ක්‍රමවේදයන් සහිත, විශ්වාසනීය ජාතික ප්‍රතිපත්ති රාමුවක් පවත්වා ගැනීම අතිශයින් වැදගත් වේ. එමඟින් කර්මාන්තය දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සාර්ථක වීමට අවශ්‍ය නිෂ්පාදන ධාරිතාව, ශක්‍යතාව සහ තරගකාරීත්වය ගොඩනංවා ගන්නා අතරම ආයෝජක විශ්වාසයද අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි වනු ඇත.

    ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ දීර්ඝකාලීන දැක්ම වන්නේ ඉදිරි වසර පහත් දහයත් අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ඉල්ලුමෙන් 75%ක් දේශීයව නිෂ්පාදනය කිරීමට හැකි පසුබිමක් සකස් කිරීම, විශ්වාසනීය ඖෂධ අපනයන කර්මාන්තයක් සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැංවීම සහ ඖෂධවේදීන්, විද්‍යාඥයන්, ඉංජිනේරුවන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගෙන් සමන්විත කුසලතා පිරිපුන් මානව සම්පත් පද්ධතියක් නිර්මාණය කිරීමය.

    1963 වසරේදී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයට දේශීය ඖෂධ නිෂ්පාදකයන් 25 දෙනෙකු නියෝජනය කරන අතර, අතීතයේ පටන්ම ආනයන මත දැඩි ලෙස රඳා පැවති කර්මාන්තයක් තුළ මතු වූ අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දීමට එය සමත් වී ඇත. එවැනි අභියෝග රාශියක් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා අර්ථවත් දායකත්වයක් ලබාදීමට සංගමය දිගින් දිගටම කටයුතු කරමින් සිටී.

    රජයේ අමාත්‍යාංශ, නියාමන ආයතන සහ කර්මාන්තයේ සියලු පාර්ශ්වකරුවන් සමඟ එක්ව කටයුතු කරමින්, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සුරක්ෂිත හා උසස් තත්ත්වයේ ඖෂධ දැරිය හැකි මිලකට ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා මෙන්ම, ශ්‍රී ලංකාව කලාපයේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය ප්‍රමුඛයෙකු ලෙස ස්ථානගත කිරීම සඳහා සංගමය දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරමින් සිටී.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සභාව අමතමින්.

    ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ නව සභාපති දිනේෂ් අතපත්තු මහතා, දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා වන ජාතික ඉල්ලීම යථාර්ථයක් බවට පත්කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අදහස් දක්වමින්.