අපනයන සංවර්ධන මණ්ඩලයට අවුරුදු 47යි. සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    August, 3, 2026

    අපනයන සංවර්ධන මණ්ඩලයේ 47 වන සංවත්සරය අගෝස්තු 01 වැනිදාට යෙදී තිබුණු අතර, ඒ වෙනුවෙන් අද පැවති සැමරුම් උත්සවයේදී මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා අපනයන ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ අනාගත ඉලක්ක පිළිබඳව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය.

    වසර 47ක විශිෂ්ට සේවා කාලය සහ දැක්ම 1979 අංක 4 දරන පනතින් ස්ථාපිත වූ අපනයන සංවර්ධන මණ්ඩලය, පසුගිය වසර 47 මුළුල්ලේ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා සඳහා ලෝකයේ පවතින විශිෂ්ටතම අපනයන මධ්‍යස්ථානය බවට පත්වීම මණ්ඩලයේ ප්‍රධාන දැක්ම බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    අපනයන ආදායම් ඉලක්ක සහ ප්‍රගතිය 2026 වසරේ මුල් මාස හය තුළදී පමණක් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 9කට ආසන්න අපනයන ආදායමක් ලබාගෙන ඇති අතර, මෙම වසර අවසානය වන විට ඩොලර් බිලියන 19ක ඉහළම අපනයන ආදායමක් ලබා ගැනීම මණ්ඩලයේ අපේක්ෂාවයි. එසේම, ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ මූලික අභිප්‍රාය වන්නේ 2030 වසර වන විට සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා ඉහළ නැංවීමයි. මෙයට වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 27ක් සහ සේවා අංශයෙන් ඩොලර් බිලියන 8ක් ඇතුළත් වේ.

    නව අපනයන ක්ෂේත්‍ර සහ විවිධාංගීකරණය පසුගිය ජූනි මස 16 වනදා එළිදැක්වූ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම හරහා සාම්ප්‍රදායික අපනයනයෙන් ඔබ්බට ගොස් නව භාණ්ඩ හා සේවා සැපයීම කෙරෙහි අවධානය යොමු කර ඇත. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික, ආහාර හා පාන, තොරතුරු තාක්ෂණ (IT) සහ ලොජිස්ටික්ස් වැනි නව ක්ෂේත්‍ර අටක් ඔස්සේ අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා ඇත. මෙමගින් 2026 වසර වන විට අපනයන ක්ෂේත්‍රයේ දායකත්වය දළ දේශීය නිෂ්පාදිතයෙන් 25%ක් දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර තිබේ.

    ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 (Sri Lanka Expo) වසර 15කට පසුව සංවිධානය කරනු ලබන "ශ්‍රී ලංකා එක්ස්පෝ" ප්‍රදර්ශනය 2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙහිදී:

    • ලොව පුරා සිටින ප්‍රමුඛ පෙළේ ගැණුම්කරුවන් 1500කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.
    • දැනට අපනයනකරුවන් 1100කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති අතර, ඉන් සුදුසුකම් ලත් අපනයනකරුවන් 650ක් ප්‍රදර්ශනය සඳහා තෝරා ගැනීමට නියමිතය.
    • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SME) වෙනුවෙන් වෙළඳ කුටි 200කට අධික ප්‍රමාණයක් වෙන් කර ඇත.
    • ජනවාරි 15 වනදා මෙරට පවත්වනු ලබන විශාලතම ආයෝජක හමුව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය, සංචාරක අමාත්‍යංශය සහ පෝට් සිටි ආයතනය සමඟ ඒකාබද්ධව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මෙම සියලු වැඩපිළිවෙළවල් හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය කැපවී සිටින බව සභාපති මංගල විජේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.