2026 මාස 07 කදී කොටස් වෙළෙඳපොළේ 6.61% පහළ යාමක්

    August, 3, 2026

    නව මාසයක ආරම්භක ගනුදෙනු දිනය වූ අද (03) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකවල මිශ්‍ර හැසිරීමක් දක්නට ලැබුණි.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7.43කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකයෙහි ඒකක 0.31ක ඉතා සුළු ඉහළ යාමක් වාර්තා වී තිබිණ. ඒ අනුව ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,121.78ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 5,940.29ක් ලෙසත් වාර්තා විය.

    දිනය තුළ රු. බිලියන 1.41ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ තිබුණු අතර එය වසරේ මේ දක්වා දෛනික පිරිවැටුමේ සාමාන්‍ය වූ රු. බිලියන 4.03ට වඩා අඩු අගයයකි.

    අද දින ලංකා මිල්ක් ෆුඩ්ස් (රු. මිලියන 195), කොමර්ෂල් බැංකුව (රු. මිලියන 145) හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 116), දෛනික පිරිවැටුමට රු. මිලියන 100 ඉක්මවූ දායකත්වයක් ලබා දීමට සමත් වූ සමාගම් වූයේය.

    මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙන්නේ 2026 ජනවාරි - ජූලි මාස 07ක කාලපරිච්ඡේදය තුළ දී සියලු කොටස් මිල දර්ශකයට අනුව 6.61%ක කඩාවැටීමක් කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වන බවයි.