මාස 06කට අලුත් වාහන 327,000 ක් ලියාපදිංචි කරලා. රජයට රු. බිලියන 896ක රේගු බදු ආදායමක්

    August, 5, 2026

    ලංකා වාණිජ මණ්ඩලය විසින් වසර 6කට පසුව, සිය මෝටර් වාහන කර්මාන්ත වාර්තාව (Motor Vehicle Industry Report 2025/26) එළිදැක්වීමට කටයුතු කර තිබේ.

    ශ්‍රී ලංකාවට වාහන ආනයනය අත්හිටුවීමෙන් පසු, පසුගිය වසරේ දී ආනයන සඳහා යළි අවසර ලැබීමත් සමගම මේ වන විට කර්මාන්තය අත්පත් කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව මෙම වාර්තාවෙන් විමසා ඇත.

    ශ්‍රී ලංකාවේ මේ වන විට මෝටර් රථ එකලස් කරනු ලබන කර්මාන්ත ශාලා 15කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක බව එහි සඳහන් වේ.

    අද වන විට ලොව පුරා අලෙවි වන සෑම අලුත් වාහන 4කින් එකක්ම විදුලි වාහනයක් බවත් මේ වන විට ලොව පුරා භාවිතයේ ඇති විදුලි වාහන ප්‍රමාණය මිලියන 20 සීමාව මුල් වරට ඉක්මවා ඇති බවත් මෙම වාර්තාවේ සඳහන්ව ඇත.

    මේ අතර 2026 මුල් මාස 06 තුළ දී නව වාහන 327,000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බව ලංකා වාණිජ මණ්ඩලයේ, මෝටර් වාහන කර්මාන්ත වාර්තාව අනාවරණය කරයි. තවද මේ හරහා රු. බිලියන 896.4ක දැවැනත් රේගු බදු ආදායමක් රජයට ලැබී ඇති බව එහි සඳහන් වේ.