August, 7, 2026
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉහළ අගයක් එකතු කරන නිෂ්පාදනවලට හා අපනයන ක්ෂේත්රයට තවත් වැදගත් ශක්තියක් එක් කරමින්, බියගම අපනයන සැකසුම් කලාපයේ (BEPZ) Asahi Dyes and Chemicals SL (Pvt) Ltd. හි අති නවීන නිෂ්පාදන කර්මාන්තශාලාව 2026 අගෝස්තු මස 06 දින නිල වශයෙන් විවෘත කෙරිණි.
ජපානයේ Asahi Dyes and Chemicals Co., Ltd. සහ ශ්‍රී ලංකාවේ Asons Ltd. අතර ඇති කරගත් උපායමාර්ගික හවුල්කාරීත්වයක් මත සංවර්ධනය කර ඇති මෙම ව්‍යාපෘතිය, අමෙරිකානු ඩොලර් මිලියන 20.4ක සෘජු විදේශ ආයෝජනයක් වන අතර, සෘජු රැකියා අවස්ථා 281ක් නිර්මාණය කිරීමත් සමඟම, ශ්‍රී ලංකාවට උසස් නිෂ්පාදන තාක්ෂණය, ජාත්‍යන්තරව පිළිගත් නිෂ්පාදන ප්රමිතීන් සහ ජාත්‍යන්තර මට්ටමේ කාර්මික විශේෂඥතාව හඳුන්වා දීම සිදු කරනු ලබයි.
විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා මෙම ආයෝජනය අගය කරමින් සමාගමට සිය සුබ පැතුම් එක් කළේය.
එහිදි ඔහු සඳහන් කළේ,
"මෙම කර්මාන්තශාලාව ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ සිරස් ඒකාබද්ධතාවය (Vertical Integration) තවදුරටත් ශක්තිමත් කරනු ඇතී බවයි. අපනයන විවිධාංගීකරණය අත්‍යවශ්‍ය වුවද, ඇඟලුම් කර්මාන්තය තවමත් අපේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ප්‍රමුඛතම ක්ෂේත්රයක් වන බවද ඔහු සඳහන් කළේය. පසුගිය දශක කිහිපය තුළ මෙම කර්මාන්තය ඉහළ තාක්ෂණික මට්ටමකට වර්ධනය වී තිබෙන අතර, රෙදිපිළි, උපාංග සහ සැපයුම් දාමය තුළ ඇති හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉලක්කය වන බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය."
මෙම ආයෝජනය, උසස් තාක්ෂණය, පරිසර හිතකාමීත්වය, අපනයන කේන්ද්‍රගත ආයෝජන ආකර්ෂණය කරගනිමින් ශ්‍රී ලංකාවේ කාර්මික පදනම ශක්තිමත් කිරීමේ හා දකුණු ආසියාවේ තරඟකාරී නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස රට ස්ථාපිත කිරීමේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ උපායමාර්ගික දැක්ම සමඟ සම්පූර්ණයෙන්ම අනුකූල වේ.
1932 වර්ෂයේදී ආරම්භ කරන ලද Asahi Dyes and Chemicals Co., Ltd විසින් සල්ෆර් රසායන විද්‍යාව, ඖෂධ අතරමැදි රසායනික ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික රසායනික ද්‍රව්‍ය සහ උසස් කාර්යසාධන රෙදිපිළි වර්ණක නිෂ්පාදනය පිළිබඳ ලෝක ප්රමුඛ සමාගමක් ලෙස ජාත්‍යන්තර කීර්තියක් හිමි කරගෙන ඇත. ජපානය, චීනය සහ වියට්නාමය තුළ සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන මෙම සමාගම ශ්‍රී ලංකාවට ආයෝජනය කිරීම, උසස් ජපන් නිෂ්පාදන තාක්ෂණය, ඉංජිනේරු විශේෂඥතාව සහ ගෝලීය තත්ත්ව ප්රමිතීන් මෙරට කර්මාන්ත ක්ෂේත්රයට හඳුන්වාදීමේ වැදගත් සන්ධිස්ථානයක් වේ.
බියගම අපනයන සැකසුම් කලාපයේ පිහිටි මෙම කර්මාන්තශාලාවේ රෙදිපිළි වර්ණක, මුද්‍රණ රසායනික ද්‍රව්‍ය සහ රෙදිපිළි නිමැවුම්කරණ රසායනික ද්‍රව්‍ය ඇතුළු විශේෂ රසායනික ද්‍රව්‍ය රැසක් නිෂ්පාදනය කරනු ලබන අතර, ඒවා ආසියානු සහ අග්නිදිග ආසියානු අපනයන වෙළෙඳපොළ වෙත සැපයීම මඟින් ශ්‍රී ලංකාවේ අපනයන විවිධාංගීකරණය සහ කලාපීය සැපයුම් දාම ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයක් වන්නේ, ඇඟලුම් සේදීමේ ක්‍රියාවලිය, ඇඟලුම් වර්ණගැන්විම, ඇඟලුම් නිමැවුම්කරණය සහ තිරසාර රෙදිපිළි සැකසුම් තාක්ෂණයේ ලොව ප්රමුඛ සමාගමක් වන ඉතාලියේ Tonello සමාගම සමඟ ඇති තාක්ෂණික සම්බන්ධතාවයයි. ලොව පුරා යන්ත්‍ර 10,000කට (Dyeing Machines) අධික සංඛ්‍යාවක් ස්ථාපනය කර ඇති Tonello සමාගම සමඟ ඇති මෙම සහයෝගීතාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මෙම කර්මාන්තශාලාව ජාත්‍යන්තර තාක්ෂණික නවෝත්පාදන සහ වගකීම් සහගත නිෂ්පාදන ජාලයකට සම්බන්ධ කරමින්, අඛණ්ඩ ගෝලීය දැනුම් හුවමාරුවකට අවස්ථාව සලසා දෙයි.
මෙම කර්මාන්ත සංකීර්ණය LEED v4 BD+C (New Construction) හරිත ගොඩනැගිලි ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කර ඇති අතර, ජල සංරක්ෂණය, බලශක්ති කාර්යක්ෂමතාව, නවීන අපජල පිරිපහදු පද්ධති, කාබන් විමෝචනය අවම කිරීම සහ ESG මූලධර්මයන්ට අනුකූල පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රමවේද මෙහි ක්‍රියාත්මක වේ. එමෙන්ම, ජල කාර්යක්ෂමතාව, ඩිජිටල් ප්‍රශස්තකරණය සහ සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතය පිළිබඳ Tonello සමාගමේ දැක්මද මෙයට අනුපූරක වේ.
ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තයට මෙම ආයෝජනය දිගුකාලීන වටිනාකමක් එක්කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර සහතික ලත් විශේෂ රසායනික ද්‍රව්‍ය දේශීයව නිෂ්පාදනය කිරීම, ආනයනික රසායනික ද්‍රව්‍ය මත පවතින යැපීම අවම කිරීම, සැපයුම් දාම කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, අපනයන තරඟකාරීත්වය ඉහළ නැංවීම, තාක්ෂණ හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සහ ජපන් උසස් නිෂ්පාදන පද්ධති පිළිබඳ අත්දැකීම් මඟින් ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ කුසලතා වර්ධනය කිරීම මෙමඟින් සිදු වේ.
Asahi Dyes and Chemicals SL යනු සාමාන්‍ය විදේශ ආයෝජන ව්‍යාපෘතියකට වඩා වැඩි අර්ථයක් දරන ව්‍යාපෘතියකි. එය ජපන් තාක්ෂණික විශිෂ්ටත්වය, ඉතාලි නවෝත්පාදනය සහ ශ්‍රී ලංකාවේ කාර්මික හැකියාවන් එක්ව තිරසාර වර්ධනය, උසස් නිෂ්පාදන සහ ජාත්‍යන්තර තරඟකාරීත්වය සඳහා නව වේදිකාවක් නිර්මාණය කරන අතර, ඉහළ අගයක් එකතු කරන විදේශ ආයෝජන සඳහා ආසියාවේ ප්රමුඛ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභිලාෂය තවදුරටත් ශක්තිමත් කරයි.
Video Story