GSP+ යලි සලකා බැලීම අභිමුව ශ්‍රී ලාංකීය ඇඟලුම් කර්මාන්තයේ ඉක්මනින් කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙන් නිවේදනයක්

    August, 7, 2026

    ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තය දැන්ම නිවැරදි කළ යුතු දේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනකරුවන් නිරන්තරයෙන් සිහිපත් කරන වැදගත් සංඛ්‍යාවක් තිබේ. වසර ගණනාවක් පුරා ළඟා කරගත නොහැකිව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන පහේ අපනයන සීමාව, 2018 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය පළමු වරට ඉක්මවා ගියේය. ඊට මාස 18කට පමණ පෙර යුරෝපා සංගමය විසින් වසර හයක කාලයක් අත්හිටුවා තිබූ GSP+ වෙළෙඳ සහනය ශ්‍රී ලංකාවට යළි ලබාදී තිබිණි. මෙම සිදුවීම් දෙක අතර සෘජු හේතුකාරක සම්බන්ධතාවක් ඇතැයි සංඛ්‍යාත්මකව තහවුරු කළ නොහැකි වුවද, කර්මාන්ත ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ අත්දැකීම පැහැදිලිය. වෙළෙඳ සහනය අහිමි වූ විට අපනයන වර්ධනය මන්දගාමී වන අතර, එය යළි ලැබුණු විට වර්ධනය නැවත ආරම්භ වේ.

    මෙරට විශාලතම අපනයන ආදායම් මාර්ගය ලෙස ඇඟලුම් කර්මාන්තය තවදුරටත් ඉදිරියෙන් සිටී. එමඟින් පුද්ගලයන් 350,000කට අධික පිරිසකට සෘජු රැකියා සපයන අතර, ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් 40%ත් 45%ත් අතර ප්‍රමාණයකට සහ දළ දේශීය නිෂ්පාදිතයෙන්  6%ත් 7%ත් අතර ප්‍රමාණයකට දායක වේ. ඒ අනුව ජී.එස්.පී. ප්ලස් සහනය ඇඟලුම් කර්මාන්තයේ වර්ධන කතාවේ අතුරු කරුණක් නොවේ. යුරෝපා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවට තරගකාරීව රැඳී සිටීමට අවශ්‍ය මූලික ප්‍රතිපත්තිමය ආරක්ෂාවක් ලෙස එය සැලකිය හැකිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට මීළඟ අදියරේදී මුහුණදීමට සිදුවන්නේ පෙර පැවැති ජී.එස්.පී. ප්ලස් ක්‍රමයට නොව, වඩා දැඩි කොන්දේසි සහිත නව ක්‍රමයකටය. වරණීය වෙළෙඳ සහන ලබාදීම සහ මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ආරක්ෂාව සහ යහපාලනය පිළිබඳ අනුකූලතාව අතර සම්බන්ධතාව තවදුරටත් දැඩි කරන සංශෝධිත ජී.එස්.පී. රෙගුලාසියක් යුරෝපා සංගම් කවුන්සිලය විසින් 2026 මැයි 22 වැනිදා අනුමත කර තිබේ.

    ඒ අනුව 2027 ජනවාරි 1 වැනිදා සිට ජී.එස්.පී. ප්ලස් සහන ලබන රටවල්, දැනට පවතින කොන්දේසිවලට අමතරව වඩා පුළුල් ජාත්‍යන්තර වගකීම් මාලාවකට අනුකූල විය යුතුය. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, සන්නද්ධ ගැටුම්වලදී ළමා ආරක්ෂාව, කම්කරු පරීක්ෂණ ක්‍රමවේද ශක්තිමත් කිරීම, පැරිස් දේශගුණ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සහ සංවිධානාත්මක අපරාධ මර්දනය එම නව වගකීම් අතරට ඇතුළත් වේ. නව ක්‍රමය යටතේ නීති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයද වඩා දැඩි කර තිබේ. බරපතළ හෝ හදිසි අනුකූලතා බිඳවැටීමකදී වෙළෙඳ සහන ඉක්මනින් ඉවත් කිරීමට හැකි “හදිසි සහන ඉවත් කිරීමේ” ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතය. එමෙන්ම රටවල ප්‍රගතිය පිළිබඳ සමාලෝචන චක්‍රය වසර දෙකේ සිට වසර තුන දක්වා දීර්ඝ කිරීමට නියමිතය. එහි ප්‍රතිඵලයක් ලෙස අනුකූලතා ගැටලුවක් මතුවුවහොත්, එය කඩිනමින් හඳුනාගෙන නිවැරදි කිරීමට හෝ ප්‍රතිපත්තිමය මාර්ගය වෙනස් කිරීමට රටවලට ලැබෙන අවස්ථා අඩුවිය හැකිය. මෙහි බොහෝවිට අවධානයෙන් ගිලිහෙන වැදගත් කරුණ වන්නේ, ශ්‍රී ලංකාවට දැනට හිමි ජී.එස්.පී. ප්ලස් වෙළෙඳ සහන 2028 වසර අවසානය දක්වා ක්‍රියාත්මක වුවද, එම සහන ඉන්පසුව ස්වයංක්‍රීයව අලුත් නොවන බවයි.

    නව රෙගුලාසි යටතේ සහනය තවදුරටත් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව විධිමත් ලෙස නැවත අයැදුම් කළ යුතුය. ඉහළ දැමූ අනුකූලතා ප්‍රමිතීන් සපුරාලන ආකාරය පැහැදිලි කරන සවිස්තරාත්මක ක්‍රියාකාරී සැලැස්මක්ද රජය විසින් ඉදිරිපත් කළ යුතු වේ. බ්‍රසල්ස් නුවරින් පැමිණි ජී.එස්.පී. ප්ලස් සමාලෝචන කණ්ඩායම අවධාරණය කර ඇත්තේ, මෙම ක්‍රියාකාරී සැලැස්ම ලේඛනයකට පමණක් සීමා කළ නොහැකි බවයි. මෙවර ශ්‍රී ලංකාව විසින් විශ්වාසනීය සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, ඒවා සැබෑ ලෙස ක්‍රියාත්මක කර ඇති බවත්, සාක්ෂි සහ දත්ත මඟින් පෙන්වා දිය යුතුය. එබැවින් ජී.එස්.පී. ප්ලස් නැවත අයැදුම් කිරීම සාමාන්‍ය පරිපාලනමය විධිවිධානයක් හෝ නිල ලේඛන හුවමාරුවක් ලෙස සලකා කටයුතු කළහොත්, ශ්‍රී ලංකාවට තමන් සිතනවාට වඩා විශාල ආර්ථික හා වෙළෙඳ හානියකට මුහුණදීමට සිදුවිය හැකිය. එහෙත් මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම් සහ යහපාලනය පිළිබඳ අනුකූලතා ලැයිස්තුවට පමණක් අවධානය යොමු කිරීමෙන් තවත් වැදගත් ගැටලුවක් නොපෙනී යා හැකිය. එය ශ්‍රී ලංකාවට බොහෝ දුරට තමන්ගේම මැදිහත්වීමෙන් විසඳාගත හැකි ගැටලුවකි.

    පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජී.එස්.පී. ප්ලස් සහන භාවිත අනුපාතය, එනම් සහනයට සුදුසුකම් ලබන අපනයන අතරින් සැබෑ ලෙස එම ප්‍රතිලාභය ලබාගන්නා කොටස, සියයට 49ත් 59ත් අතර මට්ටමක පවතින බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදී ඇති වෙළෙඳ වාසියෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් භාවිතයට නොගෙන අහිමි කරගනිමින් සිටී. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ යුරෝපා සංගමයේ මූලාරම්භ නීති යටතේ, ඇඟලුම් නිෂ්පාදනය නූල් නිෂ්පාදන අදියරේ සිටම සුදුසුකම් ලබන රට තුළ සිදුකළ යුතු වීමයි. එහෙත් ශ්‍රී ලංකාවේ දේශීය රෙදිපිළි නිෂ්පාදන පදනම එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට තවමත් ප්‍රමාණවත් නොවේ. ඒ හේතුවෙන් බොහෝ ඇඟලුම් නිෂ්පාදකයන්ට විදේශයෙන් ආනයනය කරන, ජී.එස්.පී. ප්ලස් සහනය සඳහා සුදුසුකම් නොලබන රෙදිපිළි මත රඳා සිටීමට සිදුව තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස යුරෝපා සංගමය ලබාදී ඇති තීරුබදු සහනය නීතිමය වශයෙන් පැවතියද, ප්‍රායෝගිකව එහි පූර්ණ වාසිය ලබාගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබේ.

    භූදේශපාලනික හෝ මානව හිමිකම් අනුකූලතා දර්ශක මෙන් නොව, මෙය රජය සහ කර්මාන්තය එක්ව විසඳාගත හැකි ගැටලුවකි. දේශීය රෙදිපිළි සහ අමුද්‍රව්‍ය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා සැලකිය යුතු ආයෝජන සිදු කිරීම එහි පළමු පියවර විය යුතුය. එමෙන්ම කලාපීය වෙළෙඳ හවුල්කරුවන්ගෙන් ලබාගන්නා අමුද්‍රව්‍යද ජී.එස්.පී. ප්ලස් සුදුසුකම් සඳහා පිළිගැනීමට හැකි සමුච්චය හෙවත් “cumulation” විධිවිධාන ඇතිකර ගැනීම සහ මූලාරම්භ නීතිවලට වැඩි නම්‍යශීලීභාවයක් ලබාගැනීම සඳහා යුරෝපා සංගමය සමඟ සක්‍රීය සාකච්ඡා ආරම්භ කිරීමද අත්‍යවශ්‍ය වේ. මෙම ක්‍රියාවලියට කාලයද තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබේ.

    2026 ජූලි මාසයේදී ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස යළි වර්ගීකරණය කළ අතර, එහි ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 4,670ක් ලෙස සඳහන් කර තිබේ. එම අගය ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට ඇතුළත් වීම සඳහා නියමිත අවම සීමාවට වඩා ඇමෙරිකානු ඩොලර් 34කින් පමණක් ඉහළය. ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට යළි පැමිණීම සැබෑ ආර්ථික ප්‍රකෘතිමත් වීමේ වැදගත් සන්ධිස්ථානයක් වුවද, එය තවමත් ව්‍යුහාත්මක ආර්ථික පරිවර්තනයක් ලෙස සැලකිය නොහැකිය. එය ප්‍රකෘතිමත් වීමේ කතාවක් වන නමුත්, ඉහළ ඵලදායිතාව, ශක්තිමත් කාර්මික පදනම, අපනයන විවිධාංගීකරණය සහ දිගුකාලීන තරගකාරීත්වය තහවුරු කළ පරිවර්තනයක් නොවේ. මෙම ආදායම් වර්ගීකරණය ඇඟලුම් කර්මාන්තයට නොසලකා හැරිය නොහැකි ප්‍රශ්නයක්ද මතු කරයි. ජී.එස්.පී. ප්ලස් සහන ක්‍රමය ප්‍රධාන වශයෙන් අඩු ආදායම් සහ පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා සකස් කර ඇති බැවින්, ශ්‍රී ලංකාවේ ආදායම් වර්ගීකරණය ඉහළ යාමත් සමඟ එම සහනය සඳහා පවතින සුදුසුකමද වෙනස් විය හැකිය. ඒ අනුව මෙම වෙළෙඳ අවස්ථාව සදාකාලිකව විවෘතව පවතිනු ඇතැයි උපකල්පනය කිරීම වෙනුවට, දැනට පවතින කාල කවුළුව උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම වැදගත් වේ. ශ්‍රී ලංකාව අඛණ්ඩව වසර තුනක් ඉහළ මධ්‍යම ආදායම් තත්ත්වය පවත්වාගෙන ගියහොත්, ජී.එස්.පී. ප්ලස් සහන ක්‍රමයෙන් ඉවත් වීමට සිදුවිය හැකිය. එබැවින් නව ක්‍රමය සඳහා අයැදුම්පත ඉදිරිපත් කරන කාලය තීරණාත්මක වේ.

    2027 වසරේ මුල් භාගයේදී අයැදුම් කිරීමෙන් ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් ප්‍රතිලාභ තවදුරටත් පවත්වාගෙන යාම සඳහා මාර්ගයක් මෙන්ම, අවශ්‍ය සංක්‍රාන්ති කාලසීමාවක්ද ලබාගැනීමට හැකි විය හැකිය. එහෙත් 2028 වසරේ අග භාගය දක්වා එය ප්‍රමාද කළහොත්, සහනය අලුත් නොකෙරෙන අවස්ථාවක 2029 වසරේ මැද භාගයේ සිට ශ්‍රී ලංකා අපනයන සඳහා සාමාන්‍ය එම්.එෆ්.එන්. තීරුබදු අදාළ වීමේ අවදානමක් මතුවිය හැකිය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ වත්මන් ස්ථාවරය බ්‍රසල්ස් පාර්ශ්වයෙන් මෙවර අසාමාන්‍ය ලෙස සෘජුව ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්මෙන් මොරෙනෝ මහත්මිය මේ වසරේ පැවැති ශ්‍රී ලංකා–ජර්මානු ව්‍යාපාරික සංසදය අමතමින් සඳහන් කළේ, ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාව තුළ “මිශ්‍ර ප්‍රතිඵල” ලබාදී ඇති බවයි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශය තවමත් දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් එකකට ආසන්න මට්ටමක පමණක් පවතින බව පෙන්වා දුන් ඇය, වියට්නාමය වැනි වඩා කාර්මීකරණය වූ අපනයන තරගකරුවන් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාව සැලකිය යුතු ලෙස පසුපසින් සිටින බවද අවධාරණය කළාය. නව ජී.එස්.පී. ප්ලස් අයැදුම්පත ඉදිරිපත් කිරීමට පෙර පවතින කාලය ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමට, කාර්මීකරණය පුළුල් කිරීමට සහ නව ආයෝජන ආකර්ෂණය කරගැනීමට භාවිත කළ යුතු බවද තානාපතිවරිය පෙන්වා දී තිබේ.

    ශ්‍රී ලංකාවට දැනටමත් ලබාදී ඇති යුරෝපා වෙළෙඳපොළ ප්‍රවේශයෙන් පූර්ණ ප්‍රතිලාභ ලබාගැනීමට රට තවමත් අසමත්ව ඇති බවද ඇය සඳහන් කළාය. මේ අතර යුරෝපා සංගමය හමුවේ ශ්‍රී ලංකාව තවදුරටත් විශ්වාසනීයත්වයේ හිඟයකට මුහුණ දී සිටී. එබැවින් මීළඟ ජී.එස්.පී. ප්ලස් අයැදුම්පත රජය ලබාදෙන පොරොන්දු, ප්‍රතිපත්ති ප්‍රකාශ හෝ ක්‍රියාකාරී සැලසුම් මත පමණක් තීරණය නොවනු ඇත. යුරෝපා සංගමය මතුකර ඇති මූලික ගැටලු සම්බන්ධයෙන් රජය සැබෑ, මැනිය හැකි සහ සාක්ෂි මඟින් තහවුරු කළ හැකි ක්‍රියාමාර්ග ගෙන තිබේද යන්න එහිදී ප්‍රධාන වශයෙන් සලකා බැලෙනු ඇත. අනෙකුත් සියලු ප්‍රතිලාභී රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද 2027 වසරේදී නව ජී.එස්.පී. ප්ලස් සහන ක්‍රමය සඳහා නැවත අයැදුම් කළ යුතුය. කෙසේ වෙතත් පවතින ගැටලුව ශ්‍රී ලංකාව නව සහන ක්‍රමයට සුදුසුකම් නොලැබීමේ අවදානමට පමණක් සීමා නොවේ. රටට දැනටමත් හිමිව ඇති වෙළෙඳ වරණීය සහනවලින් පවා පූර්ණ ප්‍රතිලාභ ලබාගැනීමට නොහැකිවීමද ඒ හා සමානව බරපතළ කරුණකි. යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් ක්‍රමය රටවල් මත පටවන බරක් ලෙස නොව, සැබෑ ප්‍රතිසංස්කරණ සහ ක්‍රියාකාරී ප්‍රතිඵල සඳහා ප්‍රතිලාභ ලබාදෙන අවස්ථාවක් ලෙස හඳුන්වා දී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ඉදිරියේ පවතින හදිසි ප්‍රමුඛතා පැහැදිලිය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන ආකාරයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර, ඒ වෙනුවට සුදුසු නව නීතිමය රාමුවක් හඳුන්වා දීම එහි ප්‍රධාන පියවරකි. මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ආරක්ෂාව, දේශගුණික වගකීම් සහ යහපාලනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය මතුකර ඇති ගැටලු විසඳීමද අත්‍යවශ්‍ය වේ. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය ශක්තිමත් කිරීම සහ නීතිවිරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ ධීවර කටයුතු වැළැක්වීමද එම ප්‍රමුඛතා අතරට ඇතුළත් වේ. ඒ සමඟම ජී.එස්.පී. ප්ලස් සහන භාවිතයේ පවතින හිඩැස පියවීම සඳහා දේශීය රෙදිපිළි නිෂ්පාදනය, කලාපීය අමුද්‍රව්‍ය සමුච්චය සහ මූලාරම්භ නීති පිළිබඳ සාකච්ඡා එකවර ඉදිරියට ගෙන යා යුතුය. එබැවින් ඉදිරි වසර දෙක ශ්‍රී ලංකාව භාවිත කරන ආකාරය තීරණාත්මක වනු ඇත. රට ජී.එස්.පී. ප්ලස් සහන භාවිතයේ පවතින හිඩැස පියවා, නව අනුකූලතා කොන්දේසි සපුරා, කාර්මික හා අපනයන ධාරිතාව ශක්තිමත් කරන්නේද, නැතහොත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු නොකර කාලය අවසන් වීමට ඉඩ හරින්නේද යන්න, මෙම දශකයේ ඉතිරි කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ගමන් කරන දිශාව තීරණය කරනු ඇත.

    (මෙය ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකි.)