මහ බැංකුවේ විදෙස් සංචිතය ජූලි මාසයේ දී ඩොලර් මිලියන 133කින් ඉහළට

    August, 7, 2026

    ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය 2026 ජූලි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 133කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී.

    ඒ අනුව 2026 ජූනි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 6,458ක් ලෙසින් වාර්තා වී තිබුණු විදෙස් සංචිතය 2026 ජූලි මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,591ක් දක්වා ඩොලර් මිලියන 133කින් ඉහළ ගොස් ඇති අතර මෙය 2.1%ක වර්ධනයක් වේ.

    නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 6,263 සිට ඩොලර් මිලියන 6,359ක් දක්වා ඩොලර් මිලියන 96කින් ජූලි මාසය තුළ දී ඉහළ ගොස් ඇති අතර එය 1.5%ක වර්ධනයකි.

    2020 අගෝස්තු මාසයෙන් පසුව පළමු වරට ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2026 පෙබරවාරි මාසයේ දී ඩ‌ොලර් බිලියන 7 සීමාව ඉක්මවා ගිය අතර පෙබරවාරි මාසය අවසානයේ දී එම වටිනාකම ඩොලර් මිලියන 7,284ක් ලෙසින් වාර්තා වුණි.

    කෙසේවෙතත් 2026 අප්‍රේල් මාසයේ දී මෙම අගය නැවත වරක් ඩොලර් බිලියන 7 සීමාවෙන් මෙපිටට පැමිණි අතර මැයි මාසයේ දී සංචිතයේ 1.6%ක සුළු වර්ධනයක් වාර්තා වුවද යළිත් වරක් ජූනි මාසය වන විට එය ඩොලර් මිලියන 6,458ක් දක්වා අඩු වී ති‌බුණි.