මුතුරාජවෙල අලුත් තෙල් ටැංකි 3ක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව Indo-East Engineering & Construction හා Ceylex Engineering බද්ධ ව්‍යාපාරයට

    August, 11, 2026

    ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අරමුදල් යොදා ගනිමින් මුතුරාජවෙල පර්යන්තයේ ඝනමීටර 15,000ක ඉන්ධන ගබඩා ටැංකි 02ක් සහ ඝනමීටර 10,000ක ඉන්ධන ගබඩා ටැංකියක් ඉදි කිරීම සඳහා 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එමෙන්ම, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පාරිසරික, නෛතික සහ අනෙකුත් අවශ්‍යතාවන් සපුරාලීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳව අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර යෝග්‍ය තීරණවලට එළඹෙන ලෙස බලශක්ති අමාත්‍යවරයාගෙන් සහ පරිසර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට 2026-07-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත.

    ඒ අනුව, මධ්‍යම පරිසර අධිකාරිය විසින් නියම කර ඇති නිර්දේශ සහ කොන්දේසි එම ප්‍රසම්පාදනයේ කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුළත් කරනු ලැබ ඇති බව සහ වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධානවලට අනුකූලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන බව බලශක්ති අමාත්‍යවරයා සහ පරිසර අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමට කටයුතු කරන ලදී.

    ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුව ලංසු ඉදිරිපත් කරන ලද ලංසුකරුවන් අතරින්, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Indo-East Engineering & Construction (Lanka) (Private) Limited and Ceylex Engineering (Private) Limited Joint Venture වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 3.04ක (එකතු කළ අගය මත බදු රහිත) සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,796.14ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.