දේශීය ස්වර්ණාභරණ නිෂ්පාදකයින්ගේ අපනයන සූදානම ඉහළ නැංවීමට අපනයන සංවර්ධන මණ්ඩලයේ අවධානය

    August, 12, 2026

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගිය දා මෙරට ප්‍රමුඛතම ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතනයක් වන Ashadi Jewellers (Pvt) Ltd ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ එම සමාගමේ අපනයන හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීම සඳහා ය. 1988 වසරේ ආරම්භ කරන ලද Ashadi Jewellers (Pvt) Ltd ආයතනය මේ වන විට සේවකයන් 330 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකාවේ විශාලතම අතින් නිමවන ලද (handmade) ස්වර්ණාභරණ නිෂ්පාදකයෙකු බවට පත්ව ඇත. වටිනා සහ අර්ධ වටිනා ලෝහ මෙන්ම මැණික් වර්ග යොදා ගනිමින් ස්වර්ණාභරණ සිල්ලර, තොග සහ නිෂ්පාදන කටයුතුවල නිරත වන මෙම සමාගම, සාම්ප්‍රදායික ශිල්පීය ක්‍රම සමඟින් පරිගණක ආශ්‍රිත නිර්මාණ (CAD), CNC නිරවද්‍ය ඉංජිනේරු තාක්ෂණය, ලේසර් පෑස්සුම් සහ මැණික් කැපීම හා වර්ගීකරණය වැනි නවීන තාක්ෂණික ක්‍රම ද ඒකාබද්ධ කරයි.

    මෙම සංචාරය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය රටේ ප්‍රධාන අපනයන කර්මාන්තයක් ලෙස පවතින අවධියක ය. 2025 වසරේදී මැණික් අපනයනයෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 189ක් ද, දියමන්තිවලින් ඇමරිකානු ඩොලර් මිලියන 127ක් සහ ස්වර්ණාභරණවලින් ඇමරිකානු ඩොලර් මිලියන 17.8ක් ද උපයා ඇති අතර එම වසරේ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 334කි. 2026 වසරේ මුල් භාගය තුළ (ජනවාරි සිට ජුනි දක්වා) මෙම ක්ෂේත්‍රය ඇමරිකානු ඩොලර් මිලියන 154.24ක අපනයන ආදායමක් වාර්තා කර ඇති අතර, එයට මැණික්වලින් ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 85.18ක් ද, දියමන්තිවලින් ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 58.4ක් සහ ස්වර්ණාභරණවලින් ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 10.66ක් ද ඇතුළත් වේ.

    FACETS Sri Lanka, Gem Sri Lanka, සහ Gem City Rathnapura වැනි මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන මගින් ලැබෙන සහයෝගය ඇතිව, 2030 වසර වන විට මැණික් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ලබා ගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ඉලක්ක කර ඇත. තවද ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය 2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹ BMICH හිදී පැවැත්වීමට නියමිතය. මෙම ප්‍රදර්ශනයට සහභාගී වන දේශීය අපනයනකරුවන්ට ගෝලීය ගැනුම්කරුවන් සහ ආයෝජකයන් 1,500 කට අධික සංඛ්‍යාවක් හමුවීමට අවස්ථාව සැලසෙන අතර මැණික් සහ ස්වර්ණාභරණ ගැනුම්කරුවන්ට ද අවස්ථාව හිමිවේ.

    මෙම ක්ෂේත්‍රයේ අපනයන වෙළෙඳපොළ විවිධ උප-කාණ්ඩ යටතේ වෙනස් වන අතර, මැණික් ප්‍රධාන වශයෙන් හොංකොං, ස්විට්සර්ලන්තය, තායිලන්තය, එක්සත් ජනපදය සහ ඉතාලිය වෙත ද; දියමන්ති ස්විට්සර්ලන්තය, ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බෙල්ජියම සහ ඉන්දියාව වෙත ද; ස්වර්ණාභරණ ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය සහ ඕස්ට්‍රේලියාව වෙත ද අපනයනය කෙරේ.

    Ashadi Jewellers (Pvt) Ltd ආයතනය දැනටමත් සියලු ශිල්පීය දැනුමෙන් සවිමත් වී ඇති අතර අපනයනය සඳහා සූදානම් ව්‍යවසායයක් බවට පරිවර්තනය කිරීමට නොබෝ දිනකින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට හැකියාව ලැබෙනු ඇත. එසේම අනෙකුත් අදාළ ආයතනවලින් ලබා දිය හැකි සහාය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ව්‍යාප්ත වීමට අවශ්‍ය සූදානම සහ වෙනස්කම් හඳුනා ගැනීම කෙරෙහි මෙම සංචාරයේදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විශේෂ අවධානය යොමු කළේය. ගෝලීය වෙළෙඳපොළ තුළ සාර්ථකව තරඟ කිරීමට අවශ්‍ය ආයතනික මගපෙන්වීම් සහ වෙළෙඳපොළ උපායමාර්ග සකස් කිරීමට අවශ්‍ය සහාය ලබා දෙමින්, Ashadi Jewellers වැනි අපනයන වර්ධනය සඳහා ඉහළ හැකියාවක් ඇති දේශීය ව්‍යවසායන් හඳුනාගෙන ඒවාට සහාය වීමට ඇති කැපවීම අපනයන සංවර්ධන මණ්ඩලය මෙහිදී යළිත් තහවුරු කළේය.