ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

    October, 6, 2016

    2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2006 සැප්තැම්බර් 27 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදුකරන ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම මෙහි මූලික පර්මාර්ථය වී ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරාල් එම්.එන්. රණසිංහ සහ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ එච්. අමරතුංග යන මහත්වරුන් විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.

    මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම යනු ජාත්‍යන්තර වශයෙන් එකිනෙකට සම්බන්ධ වන මූල්‍ය අපරාධයන් වන අතර එමඟින් ගෝලීය ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවයට තර්ජනයක් එල්ලවීමේ හැකියාව ඇත. තවද, දේශසීමාවන් හරහා සිදුවන භාණ්ඩ හුවමාරුව සහ පුද්ගල ආගමන විගමන තවදුරටත් පුළුල් වීම හේතුවෙන් මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සීඝ්‍රයෙන් නවීකරණය වී ඇති බැවින් ඒවා අනාවරණය කර ගැනීමේ අසීරුතා ද මතු වී ඇත. ඒ අනුව මූල්‍ය බුද්ධි ඒකකය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අතර දේශීය වශයෙන් පවතින සම්බන්ධීකරණය සහ සහයෝගීතාවය තවදුරටත් පුළුල් වීම තුලින් දේශසීමා හරහා සිදුවන නීති විරෝදී භාණ්ඩ හුවමාරු හා පුද්ගල ආගමන විගමන කටයුතු වැළැක්වීමේ සහ ශක්තිමත් දේශසීමා පාලන පද්ධතියක් ස්ථාපිත කිරීමට හැකිවනු ඇත.

    මූල්‍ය බුද්ධි ඒකකය මේ වන විටත් ශ්‍රී ලංකා රේගුව සමඟ මෙවැනිම අවබෝධතා ගිවිසුමකට එළැඹි ඇති අතර ඉහත කරුණ සම්බන්ධයෙන් අනෙකුත් අදාළ දේශීය රාජ්‍ය ආයතන සමඟ ඉතා ඉක්මනින් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇත.