“මෙය ලංකාවට පැමිණීමට සුදුසුම කාලයයි“ – මහ බැංකු අධිපතිගෙන් ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ට විශ්වාසනීය ආරාධනයක්

    August, 17, 2026

    ශ්‍රී ලංකාව ගෝලීය බලශක්ති කම්පන සාර්ථකව කළමනාකරණය කරමින් ස්ථාවර ආර්ථික වර්ධන මාවතකට පිවිසෙමින් සිටින බව, ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ‘Invest Sri Lanka’ ආයෝජක සමුළුවට සමගාමීව බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය සමඟ අද (අගෝස්තු 17) පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ඉන්ධන ආනයනය කරන රටක් ලෙසින් ගෝලීය ඉන්ධන මිල වෙනස්වීම් හමුවේ පවතින අවදානම පිළිබඳව අදහස් දක්වමින් අධිපතිවරයා කියා සිටියේ, පිරිවැය පියවා ගැනීමේ මිල සූත්‍ර ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ජූලි මාසයේදී උද්ධමනය 7.3% දක්වා ඉහළ ගිය බවයි. කෙසේ වෙතත්, ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 ක මට්ටමේ පවතින්නේ නම්, ලබන වසරේ මුල වන විට උද්ධමනය 5% ඉලක්කගත මට්ටමට ගෙන ඒමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

    මහ බැංකුව විසින් මැයි මාසයේදී ක්‍රියාත්මක කළ අනපේක්ෂිත පොලී අනුපාත ඉහළ නැංවීම මගින් උද්ධමන අපේක්ෂාවන් පාලනය කිරීමට සහ ණය වර්ධනය වේගය අඩු කිරීමට හැකි වූ බවත්, ඒ හරහා රුපියල ස්ථාවර වී ක්‍රමයෙන් අගය ඉහළ යමින් පවතින බවත් වීරසිංහ මහතා සඳහන් කළේය.

    සම්මුඛ සාකච්ඡාව අතරතුරදී, "මෙහි සිටින ආයෝජකයින් වෙත ඔබ ලබාදෙන පණිවිඩය කුමක්ද? ඔවුන් ශ්‍රී ලංකාවේ මුදල් ආයෝජනය කළ යුත්තේ ඇයි?" යනුවෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අධිපතිවරයා පවසා සිටියේ ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව වසර තුනක් පුරා අඛණ්ඩව 5% ක ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.

    "ඕනෑම අයෙකුට ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසුම කාලයයි" යනුවෙන් පැවසූ ඔහු, මැදපෙරදිග අර්බුද වැනි බාහිර කම්පන සාර්ථකව කළමනාකරණය කරමින් රට දැන් ඉහළ වර්ධන මාවතකට පිවිස ඇති බව අවධාරණය කළේය. ස්ථාවර විනිමය අනුපාතික සහ විචක්ෂණශීලී මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා සුදුසුම පරිසරයක් නිර්මාණය වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් අධිපතිවරයා ප්‍රකාශ කළේ, 2026 පළමු කාර්තුව වන විට හතරවන සහ පස්වන සමාලෝචන සාර්ථකව අවසන් කර ඇති බවයි. මීළඟ සමාලෝචනය නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවලදී අපේක්ෂා කරන අතර, 2027 වසරේ දෙවන භාගය වන විට සිව් අවුරුදු වැඩසටහන සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය. ශ්‍රී ලංකාව IMF වැඩසටහනක් යටතේ ස්ථාවරත්වය සහ වර්ධනය අත්පත් කරගත් සාර්ථක ‘සිද්ධි අධ්‍යයනයක්’ (Case Study) ලෙස දැන් පිළිගැනීමට ලක්ව ඇති බවද ඔහු සඳහන් කළේය.