හේමාස් හෝල්ඩිංග්ස් කෙන්යාවට: ප්‍රධාන පෙළේ ලිපිද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක අයිතිය තහවුරු කර ගනී

    August, 17, 2026

    කෙන්යාවේ Twiga Stationers සමාගම අත්කර ගැනීමත් සමග හේමාස් පාරිභෝගික සන්නාම පෙළ තවදුරටත් ශක්තිමත් වෙමින් කලාපීය වර්ධනයට පදනමක් සැකසේ

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක්වන හේමාස් හෝල්ඩින්ග්ස්, කෙන්යාවේ ප්‍රමුඛතම ලිපිද්‍රව්‍ය නිෂ්පාදකයෙකුවන, Kasuku, CrownBird සහ Envoy ඇතුළු ප්‍රකට ලිපිද්‍රව්‍ය සහ ඉගෙනුම් සන්නාමවල හිමිකාරිත්වය දරමින් කලාපීය වශයෙන් අපනයන සිදු කරන Twiga Stationers & Printers සමාගමේ බහුතර කොටස් හිමිකාරිත්වය තමන් සතුකර ගත් බව නිවේදනය කළේය.

    හේමාස් සමූහයේ ප්‍රථම ජාත්‍යන්තර අත්කර ගැනීමවන මෙය, ශ්‍රී ලංකාවෙන් පිටත ව්‍යාපාරික කටයුතු ගොඩනැගීම සඳහාවන සමූහයේ දිගුකාලීන ක්‍රමෝපායික සැලසුමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. තවද එමගින්, ඇමරිකානු ඩොලර් බිලියන 136 ක දළ දේශීය නිෂ්පාදිතයක් සහ මිලියන 54 ක ජනගහනයකට හිමිකම් කියන, නැගෙනහිර අප්‍රිකාවේ ඉදිරිගාමී වෙළෙඳපොළක්වන කෙන්යාව තුළ ශක්තිමත් මෙහෙයුම් පදනමක් ගොඩනගා ගැනීමට හේමාස් සමූහයට හැකියාව ලැබේ.

    Twiga සමාගම ලිපිද්‍රව්‍ය ක්ෂේත්‍රයේ ශක්තිමත් සන්නාම ප්‍රාග්ධනයක් මෙන්ම නිෂ්පාදන ධාරිතාවක් සහ බෙදාහැරීම් ජාලයක් ගොඩනගාගෙන තිබේ. ඒ අනුව, මෙම අත්කර ගැනීම, හේමාස් සමූහයේ සන්නාම පෙළ මෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් මෙවලම් නිෂ්පාදන සන්නාමයවන ඇට්ලස් ඇක්සිලියා සමාගමේ පරිපූර්ණ සහ අධ්‍යාපනික පාරිභෝගික අංශය ශක්තිමත් වීමට කැපීපෙනෙන දායකත්වයක් ලබා දෙනු ඇත.

    "හේමාස් සමූහය ජාත්‍යන්තරකරණය කිරීමේ ගමනේ මෙය සුවිශේෂී පියවරක් වනවා. කෙන්යානු වෙළෙඳපොළට පිවිසීම මගින් අපට වඩාත් විශාල, තරුණ සහ වර්ධනයවන පාරිභෝගික වෙළෙඳපොළකට ප්‍රවේශය හිමිවන අතර, ඒ හරහා අනාගතයේදී නැගෙනහිර අප්‍රිකානු කලාපයේ අවස්ථා අත්කර ගැනීමට අවශ්‍ය පදනම සකස්වනු ඇති. Twiga සමාගමේ වෙළෙඳපොළ නායකත්වය, විශ්වසනීය සන්නාම සහ බෙදාහැරීමේ හැකියාව, අපගේ ඇට්ලස් ඇක්සිලියා සමාගම සතු සන්නාම ගොඩනැගීම, නිෂ්පාදන නවෝත්පාදනය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය සමග මනාව සංකලනය වනවා. අපට එක්ව නැගෙනහිර අප්‍රිකානු කලාපයේ ශක්තිමත් ව්‍යාපාරික අවස්ථා අත්කර ගැනීමට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි," යනුවෙන් හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ආශීෂ් චන්ද්‍රා මහතා සඳහන් කළේය.

    මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳ අදහස් පළ කරමින් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි කළමනාකරණ අධ්‍යක්ෂ සබ්‍රිනා ඉසුෆලී මහත්මිය ප්‍රකාශ කළේ, මෙය වර්ධනයවන වෙළෙඳපොළ තුළ පාරිභෝගික-කේන්ද්‍රීය සන්නාම ගොඩනැගීම සඳහා තමන් සතු අරමුණ වෙනුවෙන් තැබූ ශක්තිමත් පියවරක් බවය. "නැගෙනහිර අප්‍රිකාව සහ බංග්ලාදේශය අපගේ ජාත්‍යන්තර පාරිභෝගික ක්‍රමෝපායික සැලසුමේ වැදගත් අංශ දෙකක් වීමත් සමග හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි අනාගත වර්ධනය සඳහා කලාපීය වෙළෙඳපොළ අර්ථවත් දායකත්වයක් ලබා දෙනු ඇති බව අපගේ විශ්වාසයයි. Twiga සමාගම සතු සන්නාම ප්‍රාග්ධනය, නිෂ්පාදන පදනම සහ ශක්තිමත් බෙදාහැරීම් ජාලය සමගින් අප හට ලිපිද්‍රව්‍ය ක්ෂේත්‍රය තුළ ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනීමටත්, අනාගතයේදී නැගෙනහිර අප්‍රිකානු කලාපයේ වඩාත් පුළුල් ව්‍යාපාරික අවස්ථා හිමිකර ගැනීමටත් හැකියාව උදාවනු ඇත," යනුවෙන් ඇය වැඩිදුරටත් අදහස් පළ කළාය.

    ජාත්‍යන්තර වශයෙන් සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කරන අතරම හේමාස් සමූහය, අරමුණු පෙරදැරි සන්නාම ශක්තිමත් කිරීම, කලාපීය හැකියා ගොඩනැගීම සහ පාරිභෝගිකයින්, ප්‍රජාව, කාර්යමණ්ඩල සාමාජිකයින් සහ කොටස් හිමියන් හට දිගුකාලීන අගයක් නිර්මාණය කිරීම හරහා ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා අඛණ්ඩව කැපවී සිටී.

    ඡායාරූපය - Ashish Chandra CEO Hemas Group and Sabrina Esufally, Managing Director Hemas Consumer Brands