ණය සහ අත්තිකාරම් රු. බිලියන 224 කින් ඉහළ නංවමින් HNB පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

    August, 17, 2026

    පවතින ආර්ථික අභියෝග සහ උද්ධමනකාරී පීඩනයන් හමුවේ වුවද සාර්ථකව ඉදිරියට යමින්, 2026 ජූනි මාසයෙන් අවසන් වූ මාස හය සඳහා HNB සමූහය රු. බිලියන 22.5 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර, අදාල කාල පරිච්ඡේදයේදී බැංකුව රු. බිලියන 23.1 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. මෙම මූල්‍ය කාර්යසාධනය මඟින් බැංකුවේ ශක්තිමත් ශේෂ පත්‍රය වර්ධනය මැනවින් පෙන්නුම් කරන අතර වසරේ පළමු අර්ධයේදී ණය සහ අත්තිකාරම් සේවා රු. බිලියන 224 කින් සහ තැන්පතු රු- බිලියන 138 කින් ඉහළ ගොස් ඇත. මේ අතර Net Stage 3 අනුපාතය 1.17% ක් ලෙස පවත්වා ගනිමින් වත්කම්වල ගුණාත්මකභාවය ශක්තිමත් කර ගැනීමට ද බැංකුව සමත්ව ඇත.

    බැංකුවේ ශුද්ධ පොලී ආදායම (NII) පසුගිය වසරට සාපේක්ෂව 21% කින් ඉහළ ගොස් රු. බිලියන 55.2 ක් වූ අතර, ශුද්ධ පොලී ආන්තිකය (NIM) 2025 වසරේ පැවති 4.26% සිට 4.40% දක්වා වර්ධනය විය. ශක්තිමත් ණය ලබාදීමේ ප්‍රවණතාවය මීට ප්‍රධාන වශයෙන් හේතු විය. එහිදී වෙනස් වන පොලී අනුපාත නිසා අරමුදල් පිරිවැය ඉහළ ගියද, ණය සහ අත්තිකාරම්වලින් ලැබුණු ඉහළ පොලී ආදායම හේතුවෙන් එම පීඩනය මඟහරවා ගැනීමට බැංකුවට හැකි විය.

    බැංකුවේ පොලී නොවන ආදායම් මාර්ග තවදුරටත් ශක්තිමත් කරමින්, එහි ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම පෙර වසරට සාපේක්ෂව 30% කින් ඉහළ ගොස් ඇත. ඩිජිටල් බැංකුකරණ කටයුතු පුළුල් වීම, කාඩ්පත් ආශ්‍රිත ගනුදෙනු ඉහළ යාම මෙන්ම ගනුදෙනු බැංකුකරණ සේවා සහ ලීසිං ව්‍යාපාරවලින් ලැබුණු ඉහළ දායකත්වය මීට ප්‍රධාන වශයෙන් හේතු විය. ශුද්ධ පොලී ආදායම සහ පොලී නොවන ආදායම යන දෙඅංශයේම ශක්තිමත් වර්ධනය හේතුවෙන්, සමස්ත මෙහෙයුම් ආදායම පෙර වසරට සාපේක්ෂව 27% කින් රු. බිලියන 76.7 දක්වා ඉහළ ගොස් ඇත.

    මේ අතර විදේශ විනිමය මත පදනම් වූ තාක්ෂණය සහ ගෙවීම් හැසිරවීමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් පළමු අර්ධයේදී මෙහෙයුම් වියදම් සුළු වශයෙන් ඉහළ ගියද, බැංකුව සිය වියදම් ඉතා විචක්ෂණශීලීව කළමනාකරණය කිරීමට පියවර ගත්තේය. මෙමඟින් බැංකුවේ සමස්ත ලාභදායීත්වය තවදුරටත් ශක්තිමත් වූ අතර, 2025 වසරේ 38.56%ක් වූ වාර්ෂික පදනමින් වූ පිරිවැය-ආදායම් අනුපාතය (cost‑to‑income) 34.48%ක් දක්වා සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට බැංකුව සමත් විය.”‍

    මෙම කාලසීමාව තුළ බැංකුවේ ණය කළඹෙහි සිදු වූ සැලකිය යුතු වර්ධනය පිළිබිඹු කරමින්, 2026 පළමු අර්ධයේදී බැංකුව හානි පූරණ ප්‍රතිපාදන සඳහා රු. බිලියන 4.1 ක් වෙන් කර ඇත. මෙය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයේදී වාර්තා වූ හානි පූරණ ප්‍රතිවර්තනයකට සාපේක්ෂව කැපී පෙනෙන වෙනස්වීමකි

    පළමු අර්ධයේදී ලබා ගත් මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “වසරේ පළමු අර්ධය තුළ අප ලබාගත් මෙම මූල්‍ය ප්‍රතිඵල මඟින් අපගේ උපායමාර්ගික ක්‍රියාමාර්ගවල පවතින අඛණ්ඩ ස්ථාවරත්වය සහ අපගේ වටිනා ගනුදෙනුකාරභවතුන් HNB කෙරෙහි තබා ඇති විශ්වාසය මැනවින් පිළිබිඹු වනවා. අභියෝගාත්මක ව්‍යාපාරික පරිසරයක් පැවති තත්ත්වයක වුවද, වත්කම්වල ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවත්වා ගනිමින් සහ ප්‍රශස්ත ප්‍රාග්ධන මෙන්ම ද්‍රවශීලතා තත්ත්වයක් පවත්වා ගනිමින් අපගේ ණය සහ තැන්පතු කළඹ අඛණ්ඩව වර්ධනය කිරීමට අපට හැකි වුණා. මේ හේතුවෙන් බැංකුවේ මූල්‍ය ශක්තිමත්භාවය පවත්වා ගන්නා අතරතුර අපගේ ගනුදෙනුකරුවන්ගේ බලාපොරොත්තු සැබෑ කරලීම සඳහා අඛණ්ඩව සහාය වීමට අපට අවස්ථාව උදා වී තිබෙනවා.” යනුවෙනි.

    වෙනස් වන වෙළෙඳපොළ තත්ත්වයන් හමුවේ වගකීමෙන් යුතු මූල්‍ය විසඳුම් සහ ඩිජිටල් සේවා මඟින් අපගේ පාරිභෝගිකයින් සවිබල ගැන්වීමට අපි සැමවිටම කැපවී සිටිනවා. එමෙන්ම, බැංකුවේ දිගුකාලීන වර්ධනය උදෙසා අපගේ ගනුදෙනුකරවන් සහ තාක්ෂණය වෙනුවෙන් ද අඛණ්ඩව ආයෝජනය කිරීමට අපි පියවර ගන්නවා. මෙම සාර්ථක ප්‍රතිඵල උදෙසා කැපවූ අපගේ කාර්ය මණ්ඩලයට සහ අප කෙරෙහි අඛණ්ඩව විශ්වාසය තැබූ සියලු‍ම ගනුදෙනුකරුවන්ට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    වසරේ දෙවන අර්ධයේදී අපගේ අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට සහාය දක්වමින් අපගේ උපායමාර්ගික ඉලක්ක සපුරා ගැනීමට අවධානය යොමු කිරීමයි. ශක්තිමත් ශේෂ පත්‍රයක් සහ පැහැදිලි දිගුකාලීන දැක්මක් සමඟින්, අපගේ ගනුදෙනුකරුවන්ට, කොටස්කරුවන්ට මෙන්ම සමස්ත සමාජයටම අඛණ්ඩ වටිනාකමක් එක් කරන වඩාත් ස්ථාවර බැංකුවක් ගොඩනැගීමට අපි කැපවී සිටිනවා.” යනුවෙන් ඔහු පැවසීය.

    HNB 2026 වසරේ පළමු අර්ධයේදී ශේෂ පත්‍රය තවදුරටත් ශක්තිමත් වූ අතර, එහිදී බැංකුවේ වත්කම් පදනම රු. ට්‍රිලියන 2.55 ඉක්මවා ගියේය. එමෙන්ම, මුළු ණය සහ අත්තිකාරම් සේවා රු.බිලියන 224 කින් ඉහළ ගොස් රු. ට්‍රිලියන 1.7 ක් විය. 34% ක පමණ ජංගම සහ ඉතිරි කිරීමේ තැන්පතු (CASA) පදනමක් ද සමඟින්, පාරිභෝගික තැන්පතු රු. බිලියන 138 කින් වර්ධනය වී රු. ට්‍රිලියන 2.1 සීමාව ඉක්මවා තිබේ. මෙමඟින් අඩු පිරිවැය තැන්පතු ආකර්ෂණය කර ගැනීමට බැංකුව සතු ශක්තිය සහ ස්ථාවර අරමුදල් පදනම මැනවින් පෙන්නුම් කෙරේ. මෙම සාර්ථකත්වය තුළින් බැංකුවේ ව්‍යාපාරික ශක්තිය, ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය මෙන්ම ශේෂ පත්‍ර කළමනාකරණය පිළිබඳ බැංකුවේ විචක්ෂණශීලී ප්‍රවේශය ද මැනවින් පිළිබිඹු වේ.

    Video Story

    Stock Market

    Exchange Rates