ශ්‍රී ලංකාවෙන් පිටතට අනවසර මුදල් මාරු කිරීම් අපරාධ වරදක් ලෙස සැලකීමට පියවර

    August, 18, 2026

    ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තෙකු භාණ්ඩ ආනයනය කිරීම සඳහා අත්තිකාරම් ගෙවීමක් ලෙස රටින් බැහැරට අරමුදල් ප්‍රේෂණය කර ඉන් අනතුරුව සාධාරණ කාලසීමාවක් තුළ ඊට අනුරූප භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අපොහොසත් වන්නේ නම්, එවැනි ප්‍රේෂණය කිරීමක් රටින් බැහැරට සිදු කළ අනවසර විදේශ විනිමය මාරු කිරීමක් ලෙස සැලකිය හැකිය.

    විදේශ විනිමය පනතේ දැනට පවතින ප්‍රතිපාදන යටතේ එවැනි අනවසර මුදල් මාරු කිරීම් සම්බන්ධයෙන් ගත හැකි එකම පියවර වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ ප්‍රේෂණයේ වටිනාකමට සමාන වන ශ්‍රී ලංකා රුපියල්වලින් වන මුදලක් මූල්‍ය දඩයක් වශයෙන් පැනවීම පමණි. එවැනි අනවසර අරමුදල් මාරු කිරීම් විදේශ විනිමය පනත යටතේ අපරාධ වරදක් ලෙස අර්ථ දක්වා නොමැති බැවින්, අපරාධ නඩු පැවරීමක් සඳහා වන නෛතික ප්‍රතිපාදන ද එම පනතේ අඩංගු නොවේ.

    එබැවින්, ශ්‍රී ලංකාවෙන් පිටතට අනවසර මුදල් මාරු කිරීම් විදේශ විනිමය පනත යටතේ අපරාධ වරදක් ලෙස ස්ථාපිත කිරීම මඟින් විමර්ශන ආයතනවලට සහ නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනවලට අදාළ නීතිමය රාමුව යටතේ එවැනි සිදුවීම්වලට එරෙහිව ඵලදායි ලෙස පියවර ගැනීමට අවස්ථාව සැලසෙන බව හඳුනාගනු ලැබ ඇත.

    ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් බැහැරට සිදු කෙරෙන අනවසර මුදල් මාරු කිරීම් අපරාධ වැරදි ලෙස හඳුනාගැනීම පිණිස විදේශ විනිමය පනත යටතේ විශේෂිත විධිවිධාන හඳුන්වා දීමට හැකි වන පරිදි 2017 අංක 12 දරන විදේශ විනිමය පනත සංශෝධනය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දෙන ලදී.