වාහන ආනයනකරුවන් වෙනුවෙන් එකම බදු ක්‍රමයක් සකස් කරන ලෙසත්, රු. බිලියන 40 ක රජයේ බදු ආදායම් අහිමිවීම වළක්වන ලෙසත් සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය රජයෙන් ඉල්ලයි

    September, 21, 2026

    ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), වාහන ආනයන ක්ෂේත්‍රයේ සැමට සාධාරණ, විනිවිදභාවයෙන් යුතු සහ ස්ථාවර ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

     

    50% ක අමතර බද්දක් වැනි නව ප්‍රතිපත්ති හමුවේ වාහන ක්ෂේත්‍රය, දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව පවසන CMTA, රජයේ ආදායම් සහ විදේශ විනිමය රැකගැනීමේ පියවර නීත්‍යානුකූල ව්‍යාපාර වලට හානියක් හෝ වෙළඳපොළ තරගකාරීත්වයට බාධාවක් නොවන සේ ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙයි.

     

    භාවිත වාහනවල වටිනාමකින් (CIF අගය) 15%ක ක්ෂයවීමක් අඩුකර බදු අයකිරීම අසාධාරණ බව CMTA පෙන්වා දෙයි. මෙම ක්‍රමය හේතුවෙන් කිසිදු ධාවනයක් නොකළ භාවිත කළ වාහන, අලුත්ම (Brand-new) වාහනවලට සමාන වුවද ඒවාට  අසාධාරණ ලෙස බදු සහනයක් හිමිවීම එයට හේතුවයි.

     

    පවතින ක්ෂයවීම් ක්‍රමවේදය මඟින් 2025 වසරේ පමණක් රජයට රුපියල් බිලියන 40ක පමණ  ආදායමක් අහිමි වී ඇති අතර, නිවැරදි ක්‍රියාමාර්ගයක් නොගතහොත්, 2026 වසරේ දී ද මෙවැනිම මට්ටමක ආදායම් අහිමි වීමක් සිදුවිය හැකි හැකි බව CMTA පෙන්වා දෙයි.

     

    මෙය භාවිත කළ වාහන වෙළඳපොළට අභියෝග කිරීමක් නොව, සියලු වාහන සඳහා සාධාරණ බදු අයකිරීමක් බව CMTA පවසයි. එකම මාදිලියේ වාහන දෙකකින් එකක් විදේශයක ලියාපදිංචි කළ පමණින් වෙනස් බදු අය කිරීම අසාධාරණ බැවින් එම ප්‍රතිපත්තිය නැවත සලකා බලන ලෙස සංගමය ඉල්ලයි.

    50% ක අමතර බද්ද ඇතුළු නව මුල්‍ය පියවරයන්හි දී ද මෙම සාධාරණත්වය පැවතිය යුතු බව CMTA පවසයි. මෙවැනි අධික පිරිවැයක් හේතුවෙන් වාහන මිල ඉහළ ගොස්, ව්‍යාපාරික පැවැත්මට මෙන්ම වාහන අලෙවිය සහ අලෙවියෙන් පසු සේවාවන්ට ද බලපෑම් එල්ල වන බව සංගමය පෙන්වා දෙයි.

     

    ලියාපදිංචි වාහන ආනයනකරුවන්ට සිදුවන බලපෑම වාහන අලෙවියට පමණක් සීමා නොවේ. ප්‍රදර්ශනාගාර, සේවා මධ්‍යස්ථාන, තාක්ෂණික උපකරණ, සේවක පුහුණුව, EPF/ETF ඇතුළු රජයේ බදු ගෙවීම් මෙන්ම ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන් රැසකට රැකියා සපයන ඔවුන්ගේ සමස්ත ව්‍යාපාරික පද්ධතියටම දැඩි බලපෑමක් ඇති වේ.

     

    වාහන ප්‍රතිපත්ති සකස් කිරීමේ දී නිවැරදිව බදු ගෙවන ආයතනවල මෙම විශාල දායකත්වය සැලකිල්ලට ගත යුතු බව CMTA පවසයි. නීත්‍යානුකූල ව්‍යාපාර මත දැඩි බලපෑමක් ඇති කරමින් අනෙක් පාර්ශවයන්ට බදු සහන සහ වාසි හිමිවන වාතාවරණයක් පැවතීමෙන් වාහන මිලදී ගැනීමෙන් පසු පාරිභෝගිකයාට ලැබෙන සේවාවන් පවා අඩාල විය හැකිය.

     

    බදු ආදායම් අහිමිවීමේ බරපතලකම CMTA නැවතත් පෙන්වා දෙයි. වළක්වා ගත හැකි බදු සහන නිසා අහිමි වන සෑම රුපියලක්ම රටේ සංවර්ධනයට සහ මහජන සේවාවන්ට යෙදවිය හැකි මුදලකි. එම නිසා, රජයේ භාණ්ඩාගාරයට විශාල පාඩුවක් සිදු කරමින් කිසිදු පදනමකින් තොරව එක් වාහන කාණ්ඩයකට පමණක් වාසි සැලසීම සුදුසු නොවන බව සංගමය අවධාරණය කරයි.

     

    පාරිභෝගිකයන්ට වාහන පහසුවෙන් ලබාදීම රජයේ අරමුණ නම්, එය මුළු මහත් වාහන වෙළඳපොළටම බලපාන විනිවිදභාවයෙන් යුතු එකම ප්‍රතිපත්තියක් මඟින් සිදුකළ යුතු බව CMTA පවසයි. එමගින් රජයේ ආදායම ද රැකගෙන ක්ෂේත්‍රයේ පැවැත්ම ද තහවුරු කරමින් පාරිභෝගිකයාට ද සාධාරණය ඉටුකළ හැකිය.

     

    15%ක සහනයක් ලබා දීම වෙනුවට, වාහනයේ නිෂ්පාදිත කාලය අනුව උපරිම 10%කට සීමා වූ විනිවිදභාවයෙන් යුතු ක්ෂයවීම් බදු ක්‍රමයක් සකස් කරන ලෙස CMTA මීට පෙරද යෝජනා කර ඇත. එමගින් සිදුවන අවභාවිතයන් වළක්වා ගත හැකිය.

     

    භාවිත කළ වාහන සඳහා සහනයක් ලබා දෙන්නේ නම්, එය වාහනයේ නිෂ්පාදිත කාලය වැනි නිශ්චිත පදනමක් මත පැහැදිලිව සිදුවිය යුතු බව CMTA පවසයි.

     

    සාධාරණ තරගකාරිත්වයක් පැවතීම ව්‍යාපාරවලට මෙන්ම පාරිභෝගිකයන්ට ද අත්‍යවශ්‍ය බව CMTA පෙන්වා දෙයි. නිල නියෝජිතයන්ගෙන් මිලදී ගන්නා අලුත්ම වාහන සඳහා නිෂ්පාදකයාගේ වගකීම් සහතිකය (Warranty) සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලැබෙන බැවින්, පාරිභෝගිකයාට නියමිත අමතර කොටස් ලබා ගැනීමට මෙන්ම වාහන නඩත්තු පිරිවැය අවම කර ගැනීමට ද හැකි වේ.

     

    මේ තත්ත්වය හමුවේ, වාහන ක්ෂේත්‍රයේ කොටස් කිහිපයකට පමණක් තනි තනිව අවධානය යොමු නොකර, සමස්ත ක්ෂේත්‍රය දෙසම පුළුල් ලෙස බලන ලෙස CMTA ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ඉල්ලා සිටියි. ඔවුන්ගේ අරමුණ වන්නේ නවතම වාහන, භාවිත කළ වාහන, නිල නියෝජිතයන්, ස්වාධීන ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් යන සැමටම සාධාරණ, විනිවිදභාවයෙන් යුතු තරගකාරී වෙළඳපොළක් නිර්මාණය කිරීමයි.

     

    එවැනි පැහැදිලි ප්‍රතිපත්තියක් මඟින් වාහන වටිනාකම් තක්සේරු කිරීමේ අසමානතා සහ අවභාවිතයන් වැළැක්වී ක්ෂේත්‍රය කෙරෙහි විශ්වාසය තහවුරු වේ. මෙම විනිවිදභාවය රජයේ බදු ආදායමට, නීත්‍යානුකූල ව්‍යාපාර වලට මෙන්ම පාරිභෝගිකයන්ට ද එකසේ වාසිදායක වේ.

     

    මෙරට ආර්ථිකය රැකගැනීමට සහ වාහන ආනයන අභියෝග කළමනාකරණය කිරීමට රජය ගන්නා උත්සාහය CMTA අගය කරයි. නමුත්, එම අරමුණු ඉටුකර ගැනීමේ දී වාහන ක්ෂේත්‍රය තුළ අසාධාරණ අසමානතාවන් ඇති නොවිය යුතු බව සංගමය විශ්වාස කරයි.

     

    ශ්‍රී ලංකාව සිය ආර්ථිකය නැවත ගොඩනඟන මෙම අවස්ථාවේ දී, සමස්ත වාහන ක්ෂේත්‍රයටම සාධාරණව සැලකීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස CMTA ඉල්ලා සිටියි. අසාධාරණ බදු සහන ඉවත් කිරීම, නව 50% අමතර බදු බලපෑම නැවත සමාලෝචනය කිරීම සහ සැබෑ වාහන වටිනාකම මත පදනම් වූ විනිවිදභාවයෙන් යුතු නීති පද්ධතියක් සකස් කිරීම මඟින් ක්ෂේත්‍රයට ශක්තිමත් පදනමක් ලැබෙන බව සංගමයේ විශ්වාසයයි.

     

    සාර්ථක වාහන කර්මාන්තයක් යනු එක් කොටසකට පමණක් වැඩි වාසි ලැබෙන ක්‍රමයක් නොව, සියලු නීත්‍යානුකූල ව්‍යාපාරිකයන්ට සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතු එකම නීති පද්ධතියක් ක්‍රියාත්මක වීම බව CMTA පෙන්වා දෙයි. රජයේ ආදායම රැක ගැනීමට, වගකීම් සහගත ව්‍යාපාර ආරක්ෂා කිරීමට සහ පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීමට මෙම සාධාරණ වෙළඳපොළ වටපිටාව අත්‍යවශ්‍ය වේ.