Technocity – Lenovo යතුරු පුවරුවෙන් ක්‍රිකට් පිටියට

    September, 21, 2026

     Technocity Lenovo ප්‍රිමියර් ලීග් (TLPL) -2026 ට IT ක්ෂේත්‍රයේ ප්‍රබලයින් එක් වේ

    තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්‍රයේ නියැළෙන ප්‍රබලයින් නිරන්තරයෙන් ඔවුන් අත රැඳි යතුරුපුවරු (Keyboards) පසෙක ලා, පසු ගියදා ක්‍රිකට් පිති අතට ගත්තේ අමතක නොවන අත්දැකීමකට එක් වෙමිනි. ඒ, Technocity - Lenovo ප්‍රිමියර් ලීග් 2026 (TLPL- 2026) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙනි. මෙරට තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතන 18ක් නියෝජනය කරමින් කණ්ඩායම් රැසක් මේ සඳහා සහභාගි වී සිටීම මෙහි විශේෂත්වයක් විය.

    මෙය හුදෙක් ආයතනික ක්‍රිකට් තරගාවලියකට එහා ගිය, සමස්ත තාක්ෂණික ක්ෂේත්‍රයේම ව්‍යාපාරික හිමිකරුවන්, කළමනාකරුවන් සහ සේවකයින් එකම පිටියකට ගෙන ආ සුහද හමුවක් ද විය. Technocity Group හි සභාපති ෆාමි ඉස්මයිල්, Laptop.lk අධ්‍යක්ෂ මින්හාජ් ෆාරූක් සහ Lenovo ශ්‍රී ලංකා ප්‍රාදේශීය ව්‍යාපාරික ප්‍රධානී සිරාජ් ජාබීර් මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් මෙම ක්‍රිකට් උලෙළ  පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක්වූ Technocity Group සභාපති ෆාමි ඉස්මයිල් මහතා සඳහන් කළේ, තාක්ෂණික සමාජය වෙනස්ම පරිසරයක එකතු කිරීමට TLPL මඟින් විශාල අවස්ථාවක් ලැබුණු බවයි.

    "ව්‍යාපාර ගොඩනැඟෙන්නේ සම්බන්ධතාවලින්. ක්‍රිකට් පිටියෙන් ඔබ්බට යන මිතුදම් ගොඩනඟා ගැනීමට මෙවැනි තරගාවලි මහත් රුකුලක්..." යැයි ඔහු පැවසීය.

    තරගාවලියේ ශූරතාව දිනූ කණ්ඩායමට රුපියල් 400,000ක මුදල් ත්‍යාගයක් හිමි වූ අතර, අනුශූරතාව දිනූ කණ්ඩායමට රුපියල් 200,000ක් පිරිනැමිණි.

    ඊට අමතරව හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා සහ තරගයේ වීරයා ඇතුළු කුසලතා දැක්වූ ක්‍රීඩකයින් හට විශේෂ මුදල් ත්‍යාග හා සම්මාන හිමි විය.

    මෙහි ඇති සුවිශේෂීම සංකල්පය වූයේ ජයග්‍රාහකයින්ට පමණක් නොව, තරගාවලියට එක් වූ ආයතන 18 හිම ක්‍රීඩකයින් සහ කළමනාකරුවන්ට Technocity සමාගමේ පූර්ණ අනුග්‍රහය සහිතව කිතුල්ගල පරිසරයේදී White Water Rafting ඇතුළු විශේෂ එක් දින චාරිකාවක් හිමි වීමයි. සාමාන්‍යයෙන් ආයතනික ඇගයීම් හිමි වන්නේ ඉහළම දක්ෂතා දක්වන අලෙවි නිලධාරීන්ට හෝ කළමනාකරුවන්ට පමණක් වුවද, මෙම TLPL තරගාවලිය සඳහා සහභාගි වූ සියලුම සේවකයින් ඇගයීමට ලක් කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය.

    Laptop.lk අධ්‍යක්ෂ මින්හාජ් ෆාරූක් මහතා පෙන්වා දුන්නේ, ක්‍රිකට් යනු ව්‍යාපාර ලෝකයට හොඳම උදාහරණයක් බවත්, දක්ෂතාව අභිබවා එකම ඉලක්කයක් වෙනුවෙන් කණ්ඩායමක් ලෙස වැඩ කිරීමෙන් ජයග්‍රහණ හිමි කර ගත හැකි බව යි.

    තරගයේ ආරම්භයේ සිට ජයග්‍රාහී සම්මාන රාත්‍රිය දක්වා ම එකමුතුකම සහ ක්‍රීඩාශීලීත්වය මැනවින් ප්‍රකාශ විය. ඒ අනුව TLPL 2026 යනු, හුදෙක් කුසලානයක් දිනා ගැනීමට එහා ගිය සමස්ත ක්ෂේත්‍රයක්ම "එකට ක්‍රීඩා කරමින්, එකට තරග කරමින්, එකට සැමරූ" අද්විතීය අත්දැකීමක් විය.