අහිතකර වෙළඳපොළ තත්ත්වය හමුවේ වින්ඩ්ෆෝස් පීඑල්සී රු. බිලියන 4 ක හරිත බැඳුම්කර නිකුතුව හකුලා ගනී

    September, 29, 2026

    පවතින අහිතකර වෙළඳපොළ තත්ත්වයන් හේතුවෙන්, යෝජිත රුපියල් බිලියන 4 ක හරිත බැඳුම්කර (Green Bond) නිකුතුව සඳහා වන ආරම්භක ලැයිස්තුගත කිරීමේ අයදුම්පත ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළ බව පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝස් පීඑල්සී (WindForce PLC) සමාගම කොළඹ කොටස් වෙළඳපල (CSE) වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

    ඊයේ (28) නිකුත් කරන ලද ආයතනික අනාවරණයට අනුව, "පවතින අහිතකර වෙළඳපල තත්ත්වයන්" හේතුවෙන් යෝජිත ණයකර නිකුතුව සමඟ ඉදිරියට නොයන බව සමාගම නිවේදනය කර ඇත.

    මෙම ඉල්ලා අස්කර ගැනීම සිදුවන්නේ 2026 අප්‍රේල් 2 වන දින සිදුකරන ලද පූර්ව අනාවරණයට පසුවය. එම අවස්ථාවේදී අවශ්‍ය සියලුම නියාමන අනුමැතීන්ට යටත්ව, රු. 4,000,000,000ක් (රු. බිලියන 4ක්) දක්වා වූ සමස්ත වටිනාකමකින් යුත් හරිත බැඳුම්කර මිලියන 40ක් (40,000,000) දක්වා නිකුත් කිරීමට වින්ඩ්ෆෝස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබුණි.

    මුල් නිවේදනය නිකුත් කරන අවස්ථාවේදී, හරිත බැඳුම්කර නිකුතුවේ කාලසීමාව, පොලී අනුපාත සහ අනෙකුත් කරුණු ඉදිරියේදී දැනුම් දීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, වෙනස් වන සාර්ව ආර්ථික පරිසරය හමුවේ නිකුතුව ක්‍රියාත්මක කිරීමට පෙර එය අත්හිටුවීමට අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගෙන ඇත.