October, 3, 2026
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 වගන්තියට අනුකූලව, 2026 ඔක්තෝබර් 01 වැනි දින මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති, ගරු අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් නව මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමකට අත්සන් තබන ලදී. මෙම ගිවිසුම 2026 ඔක්තෝබර් 01 දිනැති අංක 2508/28 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.
මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි ප්‍රධාන කරුණු
ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26(4) වගන්තියට අනුකූලව, උද්ධමන ඉලක්කය සහ ඊට අදාළ පරාමිති සෑම වසර තුනකට වරක් හෝ සුවිශේෂී අවස්ථානුගත තත්ත්වයන් මත අවශ්‍ය වන්නේ නම් ඊට අඩු කාල පරාසයකින් සමාලෝචනය කෙරේ. ඒ අනුව, 2023 ඔක්තෝබර් මාසයේ දී අත්සන් තබන ලද පළමු මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙන් අනතුරුව නියමිත වූ සමාලෝචනය 2026 වසරේ දී සිදු කෙරිණි.
මෙම සමාලෝචනයේ අංගයක් ලෙස, ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය, පෙර පැවති දත්ත සහ ආනුභවික සාක්ෂි, මුදල් ප්‍රතිපත්තියට අදාළව සලකා බලන සාධක, ප්‍රතිපත්ති රාමුවේ විශ්වසනීයත්වය, ආර්ථික පාර්ශ්වකරුවන්ගේ අදහස් මෙන්ම ජාත්‍යන්තර අත්දැකීම් සහ භාවිතයන් ඇතුළු කරුණු සලකා බලමින් මහ බැංකුව විසින් පුළුල් තාක්ෂණික ඇගයීමක් සිදු කරන ලදී. එම සමාලෝචනයෙන් අනාවරණය වූ කරුණු මත පදනම්ව, මහ බැංකුව විසින් සිය යෝජනාව මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලදී. මුදල් අමාත්‍යාංශය විසින් එම නිර්දේශය පිළිබඳව සවිස්තරාත්මකව සලකා බැලීමෙන් අනතුරුව එම නිර්දේශය පිළිගන්නා ලදී.
දේශීය මිල ස්ථායීතාව සාක්ෂාත් කර ගැනීම සහ පවත්වාගෙන යෑමේ සිය ප්‍රධාන අරමුණ ඉටු කර ගැනීම සඳහා ඉදිරි දැක්මකින් යුතු සහ දත්ත මත පදනම් වූ ප්‍රතිපත්තිමය තීරණ තුළින් උද්ධමන ඉලක්කය සපුරා ගැනීමට මහ බැංකුව අඛණ්ඩව කැපවී සිටී.
https://www.cbsl.gov.lk/si/මුදල්-ප්‍රතිපත්තිය/මුදල්-ප්‍රතිපත්ති-රාමු-ගිවිසුම ඔස්සේ රජයේ ගැසට් පත්‍රයට ප්‍රවේශ විය හැකිය.
Video Story