කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කෙරේ

    October, 15, 2026

    ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සහ කෘත්‍රිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම අරමුණු කරගනිමින්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ චීන සමූහාණ්ඩුවේ තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා අතර විශේෂ හමුවක් ඊයේ දින (14) කොළඹ පිහිටි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවැත්විණි.
    මෙහිදී ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් කෙරෙහි අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ ඩිජිටල් ආර්ථික ප්‍රමුඛතාවන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම, ඩිජිටල් ආර්ථිකය හා කෘත්‍රිම බුද්ධිය (AI) ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, සහ ජාතික ස්වෛරී AI පරිගණක මධ්‍යස්ථානයක් (National Sovereign AI Computing Centre) පිහිටුවීමට චීන රජයේ සහාය ලබා ගැනීම මෙන්ම දෙරට අතර AI පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම ප්‍රධාන කරුණු ලෙස සාකච්ඡා විය.
    හමුව ආරම්භ කරමින් අදහස් දැක්වූ චීන තානාපති වේයි හුවාෂියැං මහතා, ස්වකීය රාජ්‍යතාන්ත්‍රික සේවයට පෙර විවිධ ක්ෂේත්‍රයන්හි ලැබූ අත්දැකීම් සිහිපත් කරමින්, නියෝජ්‍ය අමාත්‍යවරයා SLT-Mobitel ජාතික AI සමුළුවට දැක්වූ දායකත්වය අගය කළේය. ශ්‍රී ලංකාව තුළ සිය නිල කාලය තුළදී AI භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීම තම ප්‍රධාන අරමුණක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
    මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, සියලුම ක්ෂේත්‍ර සඳහා සේවය සපයන AI දත්ත විශිෂ්ටතා මධ්‍යස්ථානයක් පිහිටුවීම, AI ක්ෂේත්‍රයේ ධාරිතා සංවර්ධනය සහ පාලනය (Governance) මෙන්ම නව ආයෝජන අවස්ථා උදාකර ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කරන බවයි.
    චීනය වර්තමානයේ රබර් සහ වී වගාව වැනි සම්ප්‍රදායික කර්මාන්ත සඳහා AI සාර්ථකව බද්ධ කරමින් විශාල ප්‍රගතියක් ලබා ඇති බව පෙන්වා දුන් චීන තානාපතිවරයා, මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේද ඩිජිටල් පරිණාමනය වේගවත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. තවද, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ දිගුකාලීන වර්ධනයට උපකාරී වන පරිදි අදහස් හුවමාරු කර ගැනීමටත් නව අවස්ථා ගවේෂණය කිරීමටත් 'ලෝක AI සහයෝගීතා සංවිධානය' (World AI Cooperation Organization) සමග එක්වන ලෙස තානාපතිවරයා ශ්‍රී ලංකාවට යෝජනා කළ අතර, දෙරට අතර දැනටමත් අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම්වල ප්‍රගතිය පිළිබඳවද කරුණු දක්වන ලදී.
    පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාතවරියගේ චීන සංචාරයන්හි පසු විපරමක් සහ ඩිජිටල් සහයෝගීතාව පිළිබඳ කෙටුම්පත් අවබෝධතා ගිවිසුම, මුදල් අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ GovTech නායකත්වය ඇතුළු අදාළ බලධාරීන්ගේ උපදෙස් පරිදි දැනට සකස් වෙමින් පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා මෙහිදී සඳහන් කළේය.
    නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අදහස් දැක්වීමේදී යෝජනා වූ පර්යේෂණ හා සංවර්ධන (R&D) කටයුතු සහ ක්ෂේත්‍රයේ දක්ෂතාවන් වර්ධනය කිරීම පිළිබඳව චීන තානාපතිවරයාගේ දැඩි අවධානය යොමු වූ අතර, යෝජිත AI පරිගණක මධ්‍යස්ථානය හා සම්බන්ධ තාක්ෂණික දැනුම සහ අවබෝධය බෙදා ගැනීමටද කැමැත්ත පළ කළේය.
    2026 ලෝක AI සමුළුවේදී (World AI Conference 2026) චීන ජනාධිපතිතුමන් අභිමුඛව අවධාරණය කළ 'විවෘත මූලාශ්‍ර AI වේදිකා' (Open-source AI platforms) පිළිබඳව අවධාරනය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, තමන්ද එම සමුළුවට සහභාගී වූ බවත්, ශ්‍රී ලංකාවට තවමත් ස්වෛරී AI (Sovereign AI) තාක්ෂණය පූර්ණ ලෙස භාවිතයට ගැනීමට අවශ්‍ය භෞතික යටිතල පහසුකම් නොමැති වුවද, පුරවැසියන්ගේ දත්ත ආරක්ෂාව තහවුරු කෙරෙන කුඩා පරිමාණයේ AI දත්ත මධ්‍යස්ථාන තුළින් ප්‍රගතියක් ලබා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව ජාතික මට්ටමේ දත්ත මධ්‍යස්ථානයක් පිහිටුවීමට චීනයේ සහාය ඉල්ලා සිටි අතර, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තුව සහ අනෙකුත් රාජ්‍ය ආයතන තුළ AI භාවිතයේ වර්තමාන ප්‍රගතිය පිළිබඳවද කරුණු පැහැදිලි කළේය.
    ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින තිරසාර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ තාක්ෂණික මානය තුළින් ශ්‍රී ලංකාවට විශාල ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට හැකි වී ඇති බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්‍ය හාන්ස් විජයසූරිය මහතා සඳහන් කළේය.
    මෙම සාකච්ඡාව සඳහා චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක ටැං යැන්ඩි (Tang Yandi) මහතා, ආර්ථික හා වාණිජ කාර්යාලයේ තෙවන ලේකම් ලූ වෙන්ජිං (Lu Wenjing) මෙනෙවිය, මෙන්ම මෙං යූ (Meng Yue) මෙනෙවිය සහ ලී සින්වෙයි (Li Xinwei) මෙනෙවිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් (ක්‍රමසම්පාදන) ෆායිස් සලීම් මහතා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් සහභාගී වූහ.

    Video Story

    Stock Market

    Exchange Rates