ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සහ අධ්‍යාපන අමාත්‍යංශය, දැයේ දරුවන්ගේ සුරක්ෂිත භාවය වෙනුවෙන් කැපවෙයි

    October, 22, 2026

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General), අධ්‍යාපන හා උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සමගින් එක්ව ශ්‍රී ලංකාවේ දරු පරපුරේ පාසල් අධ්‍යාපන ගමන් මග පුරාවට ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ඒකාබද්ධව කැපවී කටයුතු කිරීමට ඉදිරිපත්ව තිබේ. මෙය ශ්‍රී ලංකාවේ මිලියන 4කට අධික ශිෂ්‍ය ප්‍රජාවකගේ ජීවිත සුරක්ෂිත කරනු ලබන සුරක්ෂා ශිෂ්‍ය රක්ෂණ සැලසුම් වැඩසටහන යටතේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු ලබයි.

    ශ්‍රී ලංකා රජය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා, මෙම සුරක්ෂා ශිෂ්‍ය රක්ෂණ වැඩසටහන දිවයින පුරා සිටින සියලුම පාසල් දරුවන් වෙත සම්පූර්ණයෙන්ම නොමිලේ පිරිනැමීම විශේෂත්වයකි. මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව SLIC General සතුටට පත්වන අතර හදිසි අනපේක්ෂිත අවස්ථාවන් හේතුවෙන් සිසුන්ට ඇති විය හැකි මූල්‍ය බලපෑම් අවම කරමින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම වැඩසටහන දායකත්වය ලබා දේ.

    මෙම රක්ෂණාවරණය සඳහා සුදුසුකම් ලබන සිසුන් අතරට රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්හි අධ්‍යාපනය ලබන 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වූ වයස අවුරුදු 5ත් 21ත් අතර සිසුන් මෙන්ම, විශේෂ අවශ්‍යතා සහිත පාසල්වල ඉගෙනුම ලබන වයස අවුරුදු 4ත් 21ත් අතර සිසුන් ද ඇතුළත් වේ.

    මෙම රක්ෂණ සැලසුම් ක්‍රමය යටතේ රෝහල්ගතවීම්, බාහිර ප්‍රතිකාර සහ බරපතළ රෝග සඳහා රක්ෂණ ආවරණය මෙන්ම, ස්ථිර හා තාවකාලික ආබාධිත තත්ත්වයන් සඳහා පුද්ගලික අනතුරු රක්ෂණ ආවරණයද ලබා දේ. එමෙන්ම, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා දෙමාපියෙකුගේ හදිසි අභාවයකදී ජීවිත රක්ෂණ ප්‍රතිලාභයක්ද පිරිනමනු ලබයි. මෙම රක්ෂණාවරණය පාසල් භූමිය තුළ මෙන්ම ඉන් බැහැරව සිදුවන අනතුරු හා සිදුවීම් සඳහා ද වලංගු වේ.

    දරුවෙකු මුහුණ දෙන රෝගාබාධයක් හෝ හදිසි අනතුරක් තාවකාලික පසුබෑමකට වඩා එහා ගිය බරපතළ තත්ත්වයක් විය හැකිය. එවැනි මොහොතක එම පවුල වෙත දැඩි මූල්‍යමය හා මානසික පීඩනයක් එල්ල විය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී එය දරුවාගේ පාසල් අධ්‍යාපනය පවා අඩාල කිරීමට හේතු වේ. ජීවිතයේ මුහුණ දීමට සිදුවන මෙවැනි අවිනිශ්චිතතාවන් හමුවේ වුව ද, දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මානසික සහනයක් සලසා දෙමින්, ඔවුන්ගේ පාසල් අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියටම පවත්වාගෙන යාමට ද සහය වෙමින්, සුරක්ෂා රක්ෂණ සැලසුම වඩාත් සුරක්ෂිත පදනමක් ලෙස ක්‍රියා කරයි. SLIC General සතු දිවයින පුරා විහිදුණු ශාඛා සහ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 200කින් සමන්විත පුළුල් ජාලය හරහා මෙම රක්ෂණ යෝජනා ක්‍රමය වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට අවකාශය සලසා දී තිබේ.

    ලෝක ළමා දිනය යනු සෑම දරුවෙකුටම ඉගෙනීමට, වර්ධනය වීමට සහ යහපත් අනාගතයක් ගොඩනඟා ගැනීමට අවස්ථාව හිමිවිය යුතුය යන බලාපොරොත්තුව සමරන සුවිශේෂී දිනයකි. දරුවන් වෙනුවෙන් සැමරීමක් කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ ඔවුන්ව ආරක්ෂා කිරීමයි. එය හුදෙක් එක් දිනකට පමණක් සීමා නොවී, ඔවුන් පන්ති කාමරය තුළ ගතකරන සෑම දිනකම වලංගු වන ආරක්ෂාවක් විය යුතුය.

    ලෝක ළමා දිනය සැමරීමට සමගාමීව, SLIC General විසින් අඩු පහසුකම් සහිත පාසලක ඉගෙනුම ලබන දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සිය අනුග්‍රහය සහ දායකත්වය ලබා දෙන ලදී. මෙම ව්‍යාපෘතිය මඟින්, අනපේක්ෂිත අවස්ථාවලදී සහය ලබා දීමෙන් පමණක් නොව, දරුවන්ට ඉගෙනීමට, වර්ධනය වීමට සහ ඔවුන්ගේ උපරිම හැකියාවන් එළිදැක්වීමට හැකි වටපිටාවක් නිර්මාණය කිරීමට දායක වීම හරහා ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම පිළිබඳව SLIC General සතු විශ්වාසය මැනවින් පිළිඹිබු කෙරිණි.

    ශ්‍රී ලංකාවේ ජාතික රක්ෂණකරු ලෙස, SLIC General හි කාර්යභාරය හුදෙක් අවදානම්වලින් ජනතාව ආරක්ෂා කිරීමට පමණක් සීමා නොවී, ඉන් ඔබ්බට දිව යන්නකි. එය වඩාත් ප්‍රබල, ආරක්ෂිත සහ ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් රටක් ගොඩනැගීමට මෙන්ම, දරුවන්ගේ අධ්‍යාපනය, යහපැවැත්ම සහ අනාගත අපේක්ෂාවන්ගෙන් රටේ ඉදිරි ගමන ශක්තිමත් කිරීමට සෘජුවම දායකතත්වයක් දක්වනු ලබයි.

    අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව, ලෝක ළමා දිනයෙන් ඔබ්බට යමින්, සමස්ත පාසල් ජීවිතය පුරාවටම දරුවන්ගේත් ඔවුන්ගේ අධ්‍යාපනයේත් ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් SLIC General නිරන්තරයෙන් කැපවී ක්‍රියා කරයි.