February, 13, 2017
පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් ගෙන්වා වාහන එකලස් කිරීමේ පෞද්ගලික ආයතනයක් විසින් ආනයනය කරන ලද වාහන අමතර කොටස් අඩංගු බහාලුම් 8ක් රේගුවෙන් නිදහස් කරන මෙන් මහා භාණ්ඩාගාරයේ ලේකම් විසින් නියෝගයක් නිකුත් කරනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් නීතිපතිතුමන් විසින් දෙන ලද උපදෙස් මත අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බව මුදල් අමාත්‍යාංශය දන්වා සිටී.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ වාහන එකලස් කිරීමේ කටයුතුවල නියුතු මෙම පෞද්ගලික සමාගම විසින් එකී කටයුතු ආරම්භ කරනු ලැබ ඇත්තේ 2005 වසරින් පසුවය. ඔවුන්ට මෙම ව්‍යාපාරය ගෙන යාමට නීතිමය බාධා ඇති වූ හෙයින් වරින් වර මේ වන තෙක් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඇතුළු 20කට අධික නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇත. මෙහි එක් මූලික අයිතිවාසිකම් නඩුවක් ප්‍රවාහන අමාත්‍යාංශය සමඟඇති කර ගන්නා ලද එකඟතාවයක් මත 2012 වසරේ දී සමතයකට පත් කර ගෙන තිබේ. ඒ අනුව ප්‍රවාහන අමාත්‍යාංශය විසින් 2012 දී ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව මෙම පෞද්ගලික සමාගම වෙත වාහන එකලස් කිරීමේ ව්‍යාපාරයේ නිරත වීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් විසින් එම සමාගම ව්‍යාපාරයක් ලෙස අනුමත කර සහතිකයක් නිකුත් කර තිබිණි. ඉන් පසුවද මෙම කරුණ පිළිබඳඅවසන් විසදුමක් ඔවුනට නොලැබුණු හෙයින් අදාළ ආයතනය විසින් මෝටර් රථ කොමසාරිස්ට එරෙහිව ද අධිකරණයේ නඩුවක් පවරා තිබිණි.
වාහන එකලස් කිරීමේ නිරත පෞද්ගලික සමාගම විසින් අවසන් වරට 2011 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබු අංක 304 මූලික අයිතිවාසිකම් නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ 2015 වසරේදීය. එම තීන්දුව සම්බන්ධයෙන් නීති අංශවල උපදෙස් සැලකිල්ලට ගත් අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුවේ නිර්දේශ මත ගනු ලැබු තීරණයක් අනුව එම අදාළ ආයතනය වෙත සහන සැලසීමට තීරණය කරන ලදි.
ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ විෂය පතයට අදාළ කරුණක් වන බැවින් 2016 ඔක්තෝම්බර් මාසයේ දී මුදල් අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදි. ඇතැම් පුද්ගලයන් විසින් හුවා දැක්වීමට උත්සාහ දරන පරිදි එය මුදල් අමාත්‍යවරයාගේ පෞද්ගලික අවශ්‍යතාවයක් මත කරන ලද්දක් නොවේ. මෙම විෂය කරණ කොටගෙන ඇතැම් දේශපාලනඥයන් ඇතුළුව සමහරක් මාධ්‍ය මඟින් ද වාහන ජාවාරම්කරුවන්ට සහන ලබාදීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කටයුතු කරන බවට ප්‍රචාරය කිරීම ද්වේශසහගතයි.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට අපකීර්තියක් ඇති කිරීමේ යටි අරමුණෙන් යුතුව මෑතක සිට එතුමාට එරෙහිව සමහර දේශපාලනඥයින් හා මාධ්‍ය, ක්‍රියාකරන බව අමාත්‍යවරයාගේ අවධානයට යොමුව තිබෙන අතර යටි අරමුණෙන් යුතු මෙම ද්වේශසහගත ක්‍රියාව ප්‍රතික්ෂේප කරන රවි කරුණානායක මහතා එය තරයේ හෙලා දකියි.
කරුණු මෙසේ තිබියදී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සාමූහික වගකීම් දැරිය යුතු වුව ද එහි ඇතැම් සාමාජිකයන් මාධ්‍ය වෙත විවිධ ප්‍රකාශ නිකුත් කිරීම තුළින් අමාත්‍ය මණ්ඩලය විසින් තීන්දු තීරණ ගනු ලබනුයේ පෞද්ගලික අරමුණු මත යන වැරදි මතයක් මහජනතාව තුළ ඇති කරවීමට ආණ්ඩු විරෝධීන්ට අවි සැපයීමක් ලෙස මෙය හැඳින්විය හැකිය.
Video Story