පිට පිටම හතරවන දිනයටත් විදේශීය ආයෝජකයින් සක්‍රීය වෙයි

    May, 8, 2014

    ඊයේ මෙන්ම අදත් කොළඹ කොටස් වෙළඳ පොළ මිල දර්ශක දෙකම ඉහළ ගිය අතර සමස්ත මිල දර්ශකය ඒකක 23.13 කින් ඉහළ ගොස් ඒකක 6,275.73 ක්ද එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 12.81 කින් ඉහළ ගොස් ඒකක 3,446.76 ක්ද විය.

    නෙස්ලේ ලංකා කොටසක් අද සියයට 2.3 කින් ඉහළ ගොස් රුපියල් 1,985.00 ක්ද, බුකිට් ඩාරා කොටසක් සියයට 2.8 කින් ඉහළ ගොස් රුපියල් 630.00 ක්ද, ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් කොටසක් සියයට 3.2 කින් ඉහළ ගොස් රුපියල් 67.00 ක්ද, ලංකා ඔරික්ස් ලීසිං කොටසක් සියයට 2.6 කින් ඉහළ ගොස් රුපියල් 80.10 ක්ද වී තිබේ.

    දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 935 කි. ඩිස්ලරීස් සමාගමේ කොටස් මිලියන 0.55 ක් එකක් රුපියල් 206.00 ක් බැගින්ද, රෝයල් සෙරමික්ස් සමාගමේ කොටස් මිලින 0.89 ක් එකක් රුපියල් 106.00 ක් බැගින්ද, එයිට්කන් ස්පෙන්ස් හොටෙල්ස් සමාගමේ කොටස් මිලියන 0.70 ක් එකක් රුපියල් 78.00 ක් බැගින්ද, කොමර්ෂල් බැංකුවේ කොටස් මිලියන 0.34 ක් එකක් රුපියල් 127.50 ක් බැගින්ද, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් මිලියන 0.10 ක් එකක් රුපියල් 235.00 ක් බැගින්ද, ලංකා ඉන්දීය තෙල් සමාගමේ කොටස් මිලියන 0.50 ක් එකක් රුපියල් 43.00 ක් බැගින්ද ගිවිස ගත් කොටස් ගනුදෙනු (crossings) ලෙස හුවමාරු විය.

    දිනයේ පිරිවැටුමට ගිවිසගත් කොටස් ගනුදෙනු මගින් සියයට 38 ක දායකත්වයක් සිදුකිරීම කැපී පෙනුණි.

    රුපියල් මිලියන 193 කින් දායක වෙමින් දිනයේ පිරිවැටුම සඳහා වැඩිම දායකත්වයක් සිදුකළ සමාගම වූයේ ඩිස්ටිලරීස්ය. ඉන්පසුව, ලංකා ඉන්දීය තෙල් සමාගම රුපියල් මිලියන 117 කින් සහ කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 102 කින් වෙළඳ පොළ පිරිවැටුමට දායක විය.

    දිනයේ ආයෝජන උනන්දුව වඩාත්ම තිබූ කොටස් ලෙස Lanka IOC, Acme Printing & Packaging සහ Softlogic Holdings කොටස් කැපී පෙනේ.

    පිට පිටම හතරවන දිනයටත් අද විදේශීය ආයෝජකයින් වැඩිපුර කොටස් මිලදී ගනිමින් රුපියල් මිලියන 138 ක ශුද්ධ විදේශීය මිලදී ගැනීමක් කළ අතර සමස්ත ගනුදෙනු වලින් විදේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය සියයට 32 කි.

    විදේශිකයින් විසින් කොමර්ෂල් බැංකුවේ රුපියල් මිලියන 87 කද, ජෝන් කීල්ස් හොල්ඩින්ග්ස් සමාගමේ රුපියල් මිලියන 26 කද, අමානා බැංකුවේ රුපියල් මිලියන 12 ක කොටස්ද, මිලදී ගත් අතර එක්ස්පෝ ලංකා සමාගමේ රුපියල් මිලියන 05 ක කොටස් විකුණා දැමීය.