යටිතල පහසුකම් ව්‍යාපෘතිවල නිසි ඵල ලැබීමට විදේශීය ආයෝජන තව තවත් අවශ්‍යයයි

    May, 29, 2014

    සියයට අටක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට නම් මෙරටට වසරට ඩොලර් බිලියන 04 ක සෘජු විදේශීය ආයෝජන ගෙන්වා ගත යුතු බවත් නොමැති නම් සිදුකර තිබෙන දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති වලින් බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලැබෙනු ඇති බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා කියයි.

    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ ගිය වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුව තුළ මෙරටට පැමිණි සෘජු විදේශීය ආයෝජන සියයට 104 කින් වර්ධනය වී ඇති බවයි.

    2013 වසරේ මෙරටට ඩොලර් මිලියන 219 ක සෘජු විදේශීය ආයෝජන පැමිණෙන විට මේ වසරේ පැමිණි විදේශීය සෘජු ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 442 ක්වී තිබෙන බව අමාත්‍යවරයා කීය.

    මේ අනුව, මේ වසරේ මුල් කාර්තුවේදී සංචාරක අංශය වෙනුවෙන් සියයට 36 කද, උපයෝගීතා සේවා සඳහා සියයට 26 කද, යටිතල පහසුකම් වෙනුවෙන් සියයට 15 කද, ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් සියයට 09 කද, නිෂ්පාදන කර්මාන්ත වෙනුවෙන් සියයට 07 කද, ඇඟලුම් අංශය වෙනුවෙන් සියයට 04 කද සෘජු විදේශීය ආයෝජන පැමිණ තිබේ.

    මේ අතර, අමාත්‍යවරයා සඳහන් කළේ ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ මේ දක්වා ව්‍යාපෘති 17 ක් හඳුනාගෙන තිබෙන බවයි.

    මේ වසරේදී ඩොලර් බිලියන 02 ක සෘජු විදේශීය ආයෝජන කැඳවා ගැනීමේ ඉලක්කය පහසුවෙන් සපුරාගත හැකිබවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.