May, 30, 2014
ආන්දෝලනයට තුඩුදී තිබෙන ටච්වුඩ් රුක් රෝපණ සමාගම ඈවර කරන්නැයි ණය කරුවන් පිරිසක් ඉල්ලා සිටිද්දී සමාගම පවසා තිබෙන්නේ නව ස්ථානයක නව තේමාවකින් හා නව ලාංඡනයකින් නව මෙහෙයුමක් ළඟදීම අරඹන බවයි.
මේ අනුව, සිය කාර්යාලය බත්තරමුල්ලේ පැලවත්තට රැගෙන ගිය බවත් එහි මෙහෙයුම් කටයුතු ජුනි 02 වනදා සිට අරඹන බවත් සමාගම සඳහන් කර ඇත.
මෙම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස දක්වා තිබෙන්නේ එහි සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිළධාරීවරයා වන ලංකා විජේන්ද්‍ර කිවුලේගෙදර, උපුල් ඉන්ද්‍රජිත් පීරිස් සහ අනුරුද්ධ ඩයස් බණ්ඩාරනායක යන අයයි.
සමාගමේ නව තේමා පාඨය “Your Future Breath“ බවත් එහි බැංකු කරුවන් ලෙස ලංකා බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව කටයුතු කරන බවත් සඳහන්ය.
ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට් සමාගම ඈවර කිරීමට අදාළ නඩුවේ තීන්දුව ජුනි 05 වනදා ලබාදීමට නියමිතය.
මේ අතර අප පසුගියදා අනාවරණය කළේ අර්බුදයට පත්ව තිබෙන ටච්වුඩ් රුක් රෝපණ සමාගමේ පෙර කළමනාකාරීත්වය සිදුකර ඇතැයි තහවුරු කරගෙන තිබෙන වංචාවන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව සූදානම් වන බවයි.
සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම ජාත්‍යන්තර පොලීසිය සම්බන්ධ කරගනිමින් මෙම කළමනාකාරීත්වය විසින් සිදුකළ වංචාවන් පිළිබඳව සොයා බලා තිබෙන අතර එහිදී කරුණු ගණනාවක්ම සොයාගෙන තිබේ.
මේ අනුව, මෙම කරුණු පදනම් කරගනිමින් පැරණි කළමනාකාරීත්වයට එරෙහිව ළඟදීම අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිසම සැලසුම් කර ඇත.
Video Story