June, 5, 2014
දැවැන්ත අබිරහසක්ව පවතින MH370 මැලේසියානු ගුවන් යානය අතුරුදන්වීම පිළිබඳව පරීක්ෂණ සිදුකරන ඕස්ට්‍රේලියානු පරීක්ෂණ කණ්ඩායම මේ පිළිබඳව නවතම හෝඩුවාවක් සොයාගෙන තිබෙන බව වාර්තාවේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අනතුරට අදාළ තොරතුරු අනාවරණය කර ගැනීමට ඉවහල් වනු ඇතැයි විශ්වාස කළ හැකි මුහුද යටින් පටිගත කරගත් අඩු සංඛ්‍යාත ශබ්දයක් මෙම පරීක්ෂණ කණ්ඩායම අතට පත්වී තිබෙන බවයි. මෙම ගුවන් යානය අතුරුදන්වූවා යැයි සැලකෙන වේලාවට ආසන්න කාලයකදී පටිගත වී තිබෙන මෙම ශබ්දය සොයාගෙන තිබෙන්නේ ඉන්දියාවේ දකුණු කෙළවරට ඔබ්බෙන් වූ මුහුදෙන් බව සඳහන්ය.
මෙම තොරතුරු වඩාත් සනාථ වන්නේ මෙම ගුවන් යානය අනතුරට පත්වනු තමන් දුටුබව කොචි සිට පුකට් දක්වා යාත්‍රා කරමින් සිටි බ්‍රිතාන්‍යය කාන්තාවක් විසින් පසුගිය මාර්තු මාසයේදී ප්‍රකාශ කිරීමයි.
මෙම පරීක්ෂණ කණ්ඩායම අතට පත්වී තිබෙන මෙම ශබ්දය පටිගත වී තිබෙන්නේ ඉන්දියන් සාගරය තුළ තිබෙන රිසීවර් දෙකක බව සඳහන් වන අතර එම වේලාව මෙම ගුවන් යානයේ චන්ද්‍රිකා පණිවුඩ හුවමාරු කිරීම නතර වූ වේලාව සමග ගැලපෙන බව වාර්තා වේ.
මේ අතර, වැඩිදුරටත් වාර්තා වන්නේ මෙම ශබ්දය ඉපදුණු ස්ථානය නිශ්චිතවම සොයා ගැනීමට මේ වනවිට විද්‍යාඥයින් දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවයි.
මෙම ශබ්දය පටිගත වූ ප්‍රදේශය සමග මෙම ගුවන් යානා අනතුර දැඩි සම්බන්ධතාවයක් ඇතැයි විශ්වාස කරන්නේ සිය සැමියා සමග ඉන්දියන් සාගරයේ යාත්‍රා කරමින් සිටි බ්‍රිතාන්‍යය ජාතික කැතරින් ටී නැමති කාන්තාව විසින් කර තිබෙන ප්‍රකාශය නිසයි.
ඇය සඳහන් කර තිබෙන්නේ කොචි සිට තායිලන්තයේ පුකට් දක්වා තමන් යාත්‍රා කරමින් සිටියදී ගුවන් යානයක් ගිනි ගනිමින් අනතුරට පත්වූ අයුරු තමන් හා සැමියා දුටු බවයි.
මෙම තොරතුර පිළිබඳවද මෙම පරීක්ෂණ කණ්ඩායම දැඩි අවධානය යොමුකර තිබෙන බවද සඳහන්ය.
Video Story