විස්සයි විස්ස ඩොලර් මල්ල තාම සම්පූර්ණයෙන් ලැබී නෑ

    June, 6, 2014

    (දෙවන සංස්කරණය)- ලංකාව පසුගියදා ශූරතාවය දිනාගත් විස්සයි-විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම වෙනුවෙන් ගෙවන සම්පූර්ණ ගාස්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තවමත් ලැබී නොමැත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික නුස්කි මොහොමඩ් මහතා පැවසුවේ තරග ගාස්තුවෙන් වැඩි කොටස ලැබුණු නමුත් තවත් මුදල් ලැබීමට තිබෙන බවත් එය නොබෝ දිනකින්ම ලැබෙනු ඇති බවයි.

    අනාවරණය වන ආකාරයට මෙම තරගාවලියට සහභාගීවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවන මුදල ඩොලර් මිලියන 8.9 කි.
    නුස්කි මොහොමඩ් මහතා පැවසුවේ පසුගිය වසරේදී අලාභ ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සමග මේ වසරේදී සුළු ලාභයක් වාර්තා කරනු ඇති බවයි.

    මීට අමතරව, ශූරතාවය දිනාගත් විස්සයි විස්ස ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රදානය කරන ත්‍යාග මුදල් පසුගියදා ලැබුණු බව හෙතෙම සඳහන් කළේය.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදෙන ඩොලර් මිලියන 1.5 ක මුදල, තරග ජයග්‍රහණය කිරීම නිසා ලැබෙන ඩොලර් මිලියන 1.1 ක මුදල සහ තරග ගාස්තු වෙනුවෙන් ලබාදෙන ඩොලර් 200,000 ක මුදල සමග තරගාවලියට නම්කළ ක්‍රීඩකයින් 15 දෙනා සඳහා හිමිවන සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම ඩොලර් මිලියන 2.8 ක් පමණ බව පසුගිය කාලයේදී වාර්තා විය.
    මේ අනුව, මෙම තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයෙකුට රුපියල් ලක්ෂ 250 කට ආසන්න මුදලක් ත්‍යාග වශයෙන් හිමිවනු ඇතැයි ගණන් බලා ඇත.