ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල වැඩිවීමේ අවධානමක්

    June, 14, 2014

    ඉරාකයේ ඇවිලී තිබෙන ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ඉහළ ගොස් තිබෙන අතර ගැටුම් තවත් දුරදිග ගියහොත් ඛනිජ තෙල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් විශ්වාසය පළකර ඇත.

    මේ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල මේ සතිය ආරම්භයේ තිබූ මිලට වඩා ඩොලර් 04 කින් පමණ වැඩිවී තිබෙන බව සඳහන් වන අතර ඊයේ වනවිට ලෝක වෙළඳ පොළේ වාර්තා වී තිබෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසයෙන් පසුව ඉහළම ඛනිජ තෙල් මිලයි.

    ඔපෙක් සංවිධානයට අයත් රටවල් වලින් දෙවැනියට වැඩිම ඛනිජ තෙල් නිෂ්පාදනයක් සිදුකරන රට ඉරාකය වන අතර ඉරාක තෙල් සැපයුම අඩුවීම ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ඉහළ යාමට ප්‍රබල හේතුවක් වේ.

    වාර්තා වන ආකාරයට ලෝක ඛනිජ තෙල් නිෂ්පාදනයෙන් සියයට 04 කට දායකත්වය දක්වන්නේ ඉරාකය විසිනි.

    සුන්නි ඉස්ලාම් කැරළිකරුවන් විසින් ඉරාකයේ මොසුල් හා ටික්රිට් යන නගරවල බලය අල්ලාගෙන තිබෙන අතර කැරළිකරුවන් සැලසුම් කර තිබෙන්නේ තම බලය තවදුරටත් පැතිරවීමටයි.

    ලෝකයේ ඛනිජ තෙල් නිෂ්පාදනය කරන ප්‍රධානතම කළාපයක් වන මැදපෙරදිග තෙල් නිෂ්පාදනයට මෙම ගැටුම් තවදුරටත් ඇවිලී ගියහොත් දැඩි ප්‍රශ්නයක් වනු ඇති බවත් එය ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් වඩාත් ඉහළ යාමට හේතුවනු ඇති බවත් ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කර තිබේ.