June, 24, 2014
ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම, තොග පවත්වාගෙන යාම, වෙළඳ පොළ පිළිබඳ තීරණ ගැනීම ඇතුළු වැදගත් ආර්ථික තීරණ ගැනීමට අවශ්‍ය වන මෙරට නව කෘෂි කාර්මික දත්ත සොයා ගැනීමට අදාළ වන 2013/2014 ආර්ථික සංගණනයේ කෘෂි කාර්මික කටයුතු පිළිබඳ සංගණනය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට ආරම්භ කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ඩී.සී.ඒ. ගුණවර්ධන මහතා පැවසුවේ මෙම කෘෂි කාර්මික කටයුතු පිළිබඳ සංගණනය මුළු දිවයිනම ආවරණය වන පරිදි පවත්වන බවත් එමගින් බෝගවල පිරිවැය, පොහොර භාවිතය, කෘමි නාශක භාවිතය, යන්ත්‍ර සූත්‍ර භාවිතය, වැනි වැදගත් කරුණු අනාවරණය කර ගැනීමට සැලසුම් කර තිබෙන බවයි.
කෘෂි කාර්මික, කර්මාන්ත හා සේවා යන අංශ තුනම ආවරණය වන පරිදි සිදුකරන ආර්ථික සංගණනයේ එක් අදියරක් වන මෙම කෘෂි කාර්මික කටයුතු පිළිබඳ සංගණනය ජූලි මාසයේදී අවසන් කිරීමට සැලසුම් කර ඇත.
දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම කාලයේදී තොරතුරු ඉල්ලා පැමිණෙන ගණන් ගැනීමේ නිළධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙසත් එසේ තොරතුරු ලබාදීම සඳහා ජනතාව නීතියෙන් බැඳී සිටින බවයි.
ලබාදෙන තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට දෙපාර්තමේන්තුව බැඳී සිටින බව මේ පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මෙම කෘෂි කාර්මික සංගණනය සඳහා සංගණන නිළධාරීන් 15,000 ක් යොදවා තිබෙන අතර යොදවා තිබෙන අධීක්ෂණ නිළධාරීන් ගණන 1000 කි.
ආර්ථික සංගණනයේ කර්මාන්ත හා වෙළඳ සංගණනය සැප්තැම්බර් හා ඔක්තෝම්බර් මාස වලදී පැවැත්වීමට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අදහස් කර තිබෙන අතර ඒ සඳහා කෘෂි කාර්මික සංගණනයට වඩා කාලයක් ගතවන බව සඳහන් කරයි.
අදියර හතරකින් සිදුකරන මෙම සමස්ත ආර්ථික සංගණනය සඳහා වැයවන මුදල රුපියල් බිලියන 1.2 කට ආසන්න වන අතර මේ වනවිටත් සංගණනයේ අදියර දෙකක් අවසන් කර තිබේ.
Video Story