මෙන්න! ලකී ලංකා කොටස් නිකුතුවේ තත්ත්වය

    July, 8, 2014

    කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන ලකී ලංකා සමාගමේ ඊයේ ආරම්භවූ මහජන කොටස් නිකුතුව තවදුරටත් ආයෝජකයින් සඳහා විවෘතව පවතින අතර සමාගම විසින් මහජනතාවට ඉදිරිපත් කළ රුපියල් මිලියන 228 ක් වටිනා සාමාන්‍ය ඡන්ද හිමි කොටස් වලින් රුපියල් මිලියන 62.4 ක් වටිනා කොටස් සඳහා ඊයේ පස්වරු 4.30 වනවිට අයදුම්පත් ලැබී තිබේ.

    මේ බව, නිකුතුවේ කළමනාකරුවන් හා රෙජිස්ට්‍රාර්වරුන් වන ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී ඇත.

    සමාගම විසින් මෙහිදී රුපියල් මිලියන 72 ක් වටිනා සාමාන්‍ය ඡන්ද රහිත කොටස් ඉදිරිපත් කළ අතර ඒ සඳහා අධි ඉල්ලුමක් ඇති වෙමින් ලැබී තිබෙන අයදුම්පත්වල වටිනාකම රුපියල් මිලියන 103.3 කි.

    මෙම මහජන කොටස් නිකුතුවේදී ලකී ලංකා සමාගම විසින් රුපියල් 06 ක් වටිනා සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 38 ක්ද, රුපියල් 03 ක් වටිනා සාමාන්‍ය ඡන්ද රහිත කොටස් මිලියන 24 ක්ද නිකුත් කළේය.