September, 16, 2014
වසර 28 කට පසුව චීන ජනාධිපතිවරයෙකු මෙරටට පැමිණීම සනිටුවහන් කරමින් දෙදින නිළ සංචාරයක් සඳහා අද මෙරටට පැමිණෙන චීන ජනාධිපති Xi Jinping මහතාගේ ප්‍රමුඛතම අවධානය යෝජිත ශ්‍රී ලංකා-චීන නිදහස් වෙළඳ ගිවිසුමේ අවසන් එකඟතාවයන්ට එළඹීම සඳහා වෙන්වනු ඇතැයි අනාවරණය වේ.
මෙම නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට අදාළ ශඛ්‍යතා අධ්‍යනය දෙරට විසින්ම අවසන් කර තිබෙන අතර එයට චීන පාර්ලිමේන්තුවේ අවසරය ලැබී ඇත.
නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් එකඟතාවයන්ට පැමිණීම සඳහා දෙරට අතර සාකච්ඡා ආරම්භ කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට චීන වාණිජ අමාත්‍යවරයා හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද කොළඹදී අත්සන් කරන අතර සැලසුම් කර තිබෙන්නේ මෙයට අදාළ සාකච්ඡා හෙට සිටම ආරම්භ කිරීමටයි.
මෙම වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේ වැඩසටහනට සම්බන්ධ වී සිටින රජයේ උසස් නිළධාරියෙකු අප සමග පැවසුවේ ලබන මාර්තුවේදී චීන-ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා චීන ජනාධිපතිවරයාට රජය විසින් පොරොන්දුවක් දෙනු ඇති බවයි.
ශ්‍රී ලංකාව හා චීනය අතර දැනට සිදුවන ද්විපාර්ශවීය වෙළඳාමේදී චීනය පාර්ශවයෙන් විශාල වෙළඳ අතිරික්තයක් තිබුණද ලංකාව පැත්තෙන් තිබෙන්නේ විශාල වෙළඳ හිඟයකි. මෙවැනි තත්ත්වයක් තුළ මෙවැනි වෙළඳ ගිවිසුමක් ඇති කරගත් පසුව ලංකාව පැත්තේ වෙළඳ හිඟය තව තවත් වැඩිවනු ඇති බවත් එය ලංකාවට අවාසියක් විය හැකි යැයිද මත ඉදිරිපත්වී තිබේ.
පසුගියදා කොළඹදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ වෙසෙන චීන තානාපති වූ ජියන්හෝ මහතා (Wu Jianghao) පැවසුවේ මිත්‍රශීලි රටක් ලෙස මෙම කාරණය පිළිබඳව චීනයේ අවධානය යොමුව පවතින බවත් ලංකාවට අවාසියක් වන අයුරින් මෙම වෙළඳ ගිවිසුමට අත්සන් නොකරන බවයි.
යෝජිත ශ්‍රී ලංකා-චීන නිදහස් වෙළඳ ගිවිසුම යටතේ චීනයට සිදුකරන මෙරට ඇඟලුම්, පොල්, රබර්, තේ ආශ්‍රිත නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරණ සඳහා සම්පූර්ණයෙන්ම බදු සහන ඉල්ලා සිටීමට රජය බලාපොරොත්තු වන අතර ලංකාව බලාපොරොත්තු වන්නේ වසරකට ඩොලර් මිලියන 500 ක පමණ ඇඟලුම් බදු රහිතව මෙම ගිවිසුම යටතේ චීනයට යැවීමටයි.
පසුගිය වසර කිහිපය තුළදී මෙරට ප්‍රධානතම ආර්ථික හවුල්කරුවෙකු බවට චීනය පත්ව තිබෙන අතර හම්බන්තොට වරාය, නොරොච්චෝලේ තාප බලාගාරය, පිටත වටරවුම් මාර්ගය, නෙළුම් කුළුණ, ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් සිදුකිරීම සඳහා චීනය විසින් ලංකාවට ණය ආධාර සපයන ලදී.
චීනය විසින් ලංකාවේ ආර්ථීක කටයුතු වලට මෙරතම් මැදිහත්වීම ඇතැම් පාර්ශවයන් විවේචනය කර තිබෙන අතර ඔවුන් පෙන්වා දෙන්නේ ජපානය වැනි රටවල් දිගු කාලීන පොලී අඩු ණය ලබාදෙන විට චීනය විසින් ලබාදෙන්නේ පොලී වැඩි කෙටි කාලීන වාණිජ ණය බවයි.
මේ නිසා, ලංකාව දිගු කාලීනව චීන ණය උගුලේ වැටීමේ අවධානමක් තිබෙන බව ඔවුන්ගේ මතයයි. මීට අමතරව, නොරොච්චෝලේ තාප බලාගාරය වැනි ව්‍යාපෘතිවල ගුණාත්මක භාවය පිළිබඳව ප්‍රශ්න තිබෙන බවද නැගෙන මැසිවිල්ලකි.
චීනය නැගී එන ආර්ථිකයක් බවත් ඇමරිකානු ආර්ථිකයද පරාජය කරමින් තවත් නොබෝ දිනකින්ම ලෝකයේ ප්‍රබලතම ආර්ථිකය වන නිසා මෙම සබඳතා වලින් ලංකාවට වැඩි වාසියක් අත්වනු ඇතැයි මෙයට විරුද්ධ මත ඉදිරිපත් කරන පාර්ශව සඳහන් කරයි.
Video Story