ජනාධිපතිවරණය අභිමුව අයවැය කලින් එන ලකුණු

    September, 30, 2014

    ජනාධිපතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබෙන බවත් 2015 අයවැය නියමිත කාලයට කලින් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.

    අද කොළඹදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අප විසින් නැගූ පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසූ අතර ඔහු සඳහන් කළේ විසර්ජන පනත් කෙටුම්පත වෙනදාට වඩා කලින් ඉදිරිපත් කිරීම නිසා අයවැය කලින් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලැබී තිබෙන බවයි.

    2015 වසර වෙනුවෙන් රජයේ ආදායම් සහ වියදම් ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගියදා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ලබන වසර වෙනුවෙන් රජය වියදම් කිරීමට සැලසුම් කර තිබෙන මුදල 2014 වසරට සාපේක්ෂව සියයට 17 කින් පමණ ඉහළ දමා තිබේ.

    2015 විසර්ජන පනත් කෙටුම්පතින් රුපියල් බිලියන 3053 ක වියදමක් කිරීමට සැලසුම් කර තිබෙන අතර 2014 වසරේ විසර්ජන පනත් කෙටුම්පතින් වියදම් කිරීමට සැලසුම් කළ වියදම රුපියල් බිලියන 2599 කි.
    මේ අනුව, 2015 වසරේදී රාජ්‍ය වියදම රුපියල් බිලියන 450 කින් පමණ වැඩිවීමට නියමිතයි.

    රජයේ පොදු සේවා පවත්වාගෙන යාම සඳහා ලබන වසර වෙනුවෙන් ඒකාබද්ධ අරමුදලින් ලබාගැනීමට බලාපොරොත්තු වන වියදම රුපියල් බිලියන 1812 ක් වන අතර ණය සේවාකරණ ගෙවීම්, ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ අංශයේ වියදම්, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම්, අත්තිකාරම් ගෙවීම් ඇතුළත් වන 2015 රජයේ අනිවාර්ය වියදම රුපියල් බිලියන 1241 කි. මෙම වියදම් සියල්ල එකතු වූ විට 2015 සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3053 ක් වේ.

    මීට අමතරව, 2014 වෙනුවෙන් සියයට 5.2 ක අයවැය හිඟයක් පවත්වා ගැනීමේ ඉලක්කයෙන් තවදුරටත් ඉදිරියට ගොස් ලබන වසරේදී අයවැය හිඟය සියයට 4.4 ක් දක්වා අඩුකිරීමටත් ආර්ථික වර්ධන වේගය සියයට 8.2 ක් දක්වා වැඩිකිරීමටත් සැලසුම් කර තිබේ.

    මේ වසරේ දෙවන කාර්තුවේදී සියයට 7.8 ක ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට ලංකාව සමත්වූ අතර සමස්තයක් ලෙස මේ වසරේදී අපේක්ෂිත ආර්ථික වර්ධනය වන්නේද සියයට 7.8 කි.

    2015 වසරේදී රාජ්‍ය ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 6.5 ක් දක්වා වැඩිකිරීමටත් උද්ධමනය සියයට 5.5 ක මට්ටමක තබා ගැනීමටත් අපේක්ෂා කරයි.

    දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැනට සියයට 75 ක පමණ තිබෙන රාජ්‍ය ණය ප්‍රමාණය ලබන වසරේදී සියයට 71 ක් දක්වා අඩුකිරීමටද සැලසුම් කර තිබේ.