ගෑස් මිල රුපියල් 250 කින් පහළට

    October, 9, 2014

    ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 250 කින් අඩු කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද (09) කැලණියේදී පැවැති විශ්‍රාමිකයින්ගේ දින සැමරුම් උත්සවයේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි.

    ඉකුත් ඌව පළාත් සභා මැතිවරණයට පෙරාතුව චීන ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විදුලි ගාස්තු සියයට 25 කින් අඩු කළේය.

    විදුලි ගාස්තුවලට අමතරව ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 කින්ද පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5.00 කින්ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20 කින්ද රජය පහත දමන ලදී.

    මේ වනවිට, වෙළඳපොළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2396ක් වන අතර නව මිල සංශෝධනය යටතේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2146 දක්වා පහත වැටෙනු ඇත.