අශෝක් පතිරගේ ඔඩෙල්හි සම්පූර්ණ බලය අල්ලයි

    October, 14, 2014

    මෙරට ප්‍රමුඛතම විලාසිතා අලෙවිසැල් ජාලයක් වන ඔඩෙල් සමාගමේ කොටස් අයිතිය සියයට 93.2 ක් දක්වා සොෆ්ට්ලොජික් සමූහය විසින් වැඩිකරගෙන තිබේ.

    ඔඩෙල්හි සමාරම්භක ඔටාරා ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලට අයත් සියයට 45.16 ක කොටස් රුපියල් බිලියන 2.7 කට පසුගියදා මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා ප්‍රධානීත්වය දරණ සොෆ්ට්ලොජික් සමූහය විසින් මිලදීගත් අතර පසුව ඉතිරි කොටස් කරුවන්ගේ කොටස් මිලදී ගැනීම සඳහා සමාගමට අයත් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමාගම සහ සොෆ්ට්ලොජික් රිටේල් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම් විසින් අනිවාර්ය අර්පණයක් (Mandatory offer) නිකුත් කරන ලදී.

    මෙම අනිවාර්ය අර්පණය (Mandatory offer) ඊයේ (13) අවසන් වූ අතර සොෆ්ට්ලොජික් පවසා තිබෙන්නේ මේ යටතේ ඔඩෙල් සමාගමේ තවත් කොටස් මිලියන 130.7 ක් හෙවත් සමාගමේ කොටස් වලින් සියයට 48.04 ක් සොෆ්ට්ලොජික් විසින් මිලදී ගත් බවයි.

    මේ අනුව, මේ වනවිට සොෆ්ට්ලොජික් සමූහයට ඔඩෙල් හි, කොටස් වලින් සියයට 93.2 ක් අයත් වේ.

    ඔඩෙල් හි, ප්‍රධානතම කොටස්කරුවා වූ Parkson Retail Asia Ltd නැමති මැලේසියානු සමාගම පසුගියදා මැලේසියානු කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබුණේ ඔඩෙල් හි, ඔවුන් සතුව තිබෙන සියළුම කොටස් අනිවාර්ය අර්පණය (Mandatory offer) යටතේ සොෆ්ට්ලොජික් සමූහයට රුපියල් බිලියන 2.8 කට විකුණා දමන බවයි.

    මේ අනුව, ඔඩෙල් හි, සියයට 47.46 ක බහුතර කොටස් ප්‍රමාණය හිමි Parkson Retail Asia Ltd සමාගම අනාවරණය කර තිබු‍ණේ සොෆ්ට්ලොජික් සමූහයට අයත් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සහ සොෆ්ට්ලොජික් රිටේල් ප්‍රයිවට් ලිමිටඩ් විසින් පසුගියදා ඉදිරිපත් කළ අනිවාර්ය අර්පණය (Mandatory offer) සමාගම විසින් පිළිගත් බවයි.

    Parkson Retail Asia Ltd සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Toh Peng Koon විසින් කර තිබූ මෙම නිවේදනයේ සඳහන් වන්නේ කොටසක් රුපියල් 22 ක් බැගින් සමාගමට ඔඩෙල්හි සතු සියළුම කොටස් ප්‍රමාණය වන කොටස් මිලියන 129.1 ක් මෙහිදී විකුණා දමන බවයි.
    Parkson Retail Asia Ltd සමාගම විසින් 2012 ජූලි මාසයේදී ඔඩෙල්හි කොටස් මිලදීගත් අතර ඒවා නැවත සොෆ්ට්ලොජික් සමූහයට විකිණීම මගින් ප්‍රාග්ධන ලාභයක් ලැබෙන බවද මැලේසියානු කොටස් වෙළඳ පොළට සඳහන් කර තිබේ.

    පසුගිය සැප්තැම්බර් 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි සොෆ්ට්ලොජික් සමූහයේ සභාපතිවරයා වන අශෝක් පතිරගේ මහතා ඔඩෙල්හි, විධායක අධ්‍යක්ෂවරයා මෙන්ම සභාපතිවරයා ලෙස පත්වූ අතර ආචාර්ය සිවකුමාර් සෙල්ලයියා මහතා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද, හරේෂ් කුමාර් කයිමාල් මහතා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද පත් කළේය.

    මෙම අනිවාර්ය අර්පණය යටතේ සොෆ්ට්ලොජික් සමූහය විසින් මැලේසියානු සමාගමේ කොටස් වලට අමතරව සෙසු සුළු කොටස් කරුවන්ගේ කොටස් ප්‍රමාණයක්ද මිලදීගෙන ඇත.

    Parkson Retail Asia Ltd විසින් ඔඩෙල් කොටස් විකුණා දමන බවට මැලේසියානු කොටස් වෙළඳ පොළට කළ නිවේදනය මෙන්න!0110304050708

    Video Story

    Stock Market

    Exchange Rates