හේමාස් පවර් විකිණීම තීන්දුයි

    October, 15, 2014

    හේමාස් පවර් පී.එල්.සී. සමාගම තුළ හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම සතුව තිබෙන සියයට 75 ක සියළුම කොටස් අයිතිය රුපියල් බිලියන 1.68 කට NDB Capital, ACL Cables සහ Trydan Partners යන ව්‍යාපාරික හවුලට විකුණා දැමීමට හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම ගිවිසුමකට එළඹ තිබේ.

    මේ අනුව, මෙම ගනුදෙනුවේදී විකුණා දමන කොටස් ප්‍රමාණය මිලියන 93.9 ක් වන අතර හේමාස් පවර් සමාගම විසින් නිකුත් කර තිබෙන සාමාන්‍ය කොටස් ප්‍රමාණය මිලියන 125.2 කි.

    නියාමන අනුමැතිය සහිතව මෙම ගනුදෙනුව සිදුවන අතර හේමාස් පවර් සමාගම 2003 වසරේදී මෙගාවොට් 100 ක හෙළදනවි තාප විදුලි බලාගාරය ආරම්භ කරමින් විදුලි බල අංශයේ ව්‍යාපාරික කටයුතු වලට පිවිසුණු අතර 2009 වසරේදී ලයිස්තුගත විය.

    මේ වනවිට, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් නිපදවන විදුලිය ධාරිතාවය වැඩිවීමත් සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබීමත් හමුවේ ඉදිරියේදී රජය විසින් තාප විදුලිය මිලදී ගැනීම බොහෝ දුරට අඩුකරන තත්ත්වයක් ඇතිවී තිබේ.

    ඉන්ධන මගින් නිපදවන තාප විදුලිය සඳහා වැඩි මිලක් ගෙවීමට සිදුවීම නිසා ක්‍රම ක්‍රමයෙන් විදුලි බල මණ්ඩලය පුද්ගලික විදුලිය සැපයුම් කරුවන්ගෙන් තාප විදුලිය මිලදී ගැනීම අඩුකරමින් සිටී.

    මෙවැනි තත්ත්වයක් හමුවේ හේමාස් සමූහය ගත් තීරණය කැපී පෙනෙන බව විශ්ලේෂකයින් සඳහන් කරයි.

    Video Story

    Stock Market

    Exchange Rates