“බායි ODEL“. ඔටාරා මුල් පුටුවට සමුදෙයි

    October, 27, 2014

    ඔඩෙල් විලාසිතා අලෙවිසැල් ජාලය ගොඩනැගූ ඔටාරා ඩෙල් ගුණවර්ධනය මහත්මිය 2014 ඔක්තෝම්බර් 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඔඩෙල් හි, විධායක අධ්‍යක්ෂ ධූරයෙන් සහ ප්‍රධාන විධායක නිළධාරී ධූරයෙන් සමුගෙන තිබේ.

    ඔඩෙල් සමාගමේ කොටස් අයිතියෙන් සියයට 93.2 ක්ම මේ වනවිට මිලදීගෙන තිබෙන්නේ ප්‍රකට ව්‍යාපාරික අශෝක් පතිරගේ මහතාට අයත් සොෆ්ට්ලොජික් සමූහය විසිනි.

    ඔඩෙල්හි සමාරම්භක ඔටාරා ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලට අයත් සියයට 45.16 ක කොටස් රුපියල් බිලියන 2.7 කට පසුගියදා සොෆ්ට්ලොජික් සමූහය විසින් මිලදීගත් අතර පසුව ඉතිරි කොටස් කරුවන්ගේ කොටස් මිලදී ගැනීම සඳහා සමාගමට අයත් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමාගම සහ සොෆ්ට්ලොජික් රිටේල් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම් විසින් අනිවාර්ය අර්පණයක් (Mandatory offer) නිකුත් කරන ලදී.

    මේ යටතේ ඔඩෙල් සමාගමේ තවත් කොටස් මිලියන 130.7 ක් හෙවත් සමාගමේ කොටස් වලින් සියයට 48.04 ක් සොෆ්ට්ලොජික් විසින් මිලදී ගත්තේය.
    ඔඩෙල් හි, ප්‍රධානතම කොටස්කරුවා වූ Parkson Retail Asia Ltd නැමති මැලේසියානු සමාගම පසුගියදා මැලේසියානු කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබුණේ ඔඩෙල් හි, ඔවුන් සතුව තිබෙන සියළුම කොටස් හෙවත් ඔඩෙල් සමස්ත කොටස් වලින් සියයට 47.46 ක් වන ප්‍රමාණය අනිවාර්ය අර්පණය (Mandatory offer) යටතේ සොෆ්ට්ලොජික් සමූහයට රුපියල් බිලියන 2.8 කට විකුණා දමන බවයි.

    පසුගිය සැප්තැම්බර් 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි සොෆ්ට්ලොජික් සමූහයේ සභාපතිවරයා වන අශෝක් පතිරගේ මහතා ඔඩෙල්හි, විධායක අධ්‍යක්ෂවරයා මෙන්ම සභාපතිවරයා ලෙස පත්කර ඇත.