November, 17, 2014
ලොව ප්‍රබලතම කැසිනෝ ව්‍යාපාරිකයෙකු ලෙසින් සැලකෙන ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට සැලසුම් කර තිබෙන ඩොලර් මිලියන 400 ක මිශ්‍ර හෝටල් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රජය සමග දිගින් දිගටම සාකච්ඡා කරමින් තිබෙන නමුත් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අභියෝග ගණනාවක්ම පැන නැගී ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
“ඒජ්“ පුවත් සේවාව වාර්තා කරන්නේ 2015 අයවැය මගින් ශ්‍රී ලංකාව විසින් කැසිනෝ ශාලා වලට පිවිසීමේදී පුද්ගලයෙකුගෙන් ඩොලර් 100 ක බද්දක් අය කිරීමට යෝජනා කිරීමත් ඔට්ටු හා සූදු බද්ද සියයට 10 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබීමත් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට තවත් අභියෝගයක් වනු ඇති බවයි.
කෙසේවෙතත්, මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අරමුණෙන් ජේම්ස් පැකර් පාර්ශවය සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර සාකච්ඡා සිදුවෙමින් තිබෙන බවද සඳහන්ය.
ජේම්ස් ඩග්ලස් පැකර් විසින් දේශීය ව්‍යාපාරික රවී විජේරත්න සමග එක්ව ගොඩනැගූ “ද ලේක් ලෙෂර් හෝල්ඩින්ග්ස්“ සමාගම විසින් කොළඹ සිදුකිරීමට සැලසුම් කර තිබෙන මිශ්‍ර හෝටල් ව්‍යාපෘතිය පිළිබඳව රජය තවදුරටත් බලාපොරොත්තු තබාගෙන සිටින බවත් එම ව්‍යාපෘතිය සිදුකරන ඉඩමට ගෙවිය යුතු මුදල් වලින් ඔවුන් විසින් සියයට 20 ක පමණ ප්‍රමාණයක් මේ වනවිට ගෙවා තිබෙන බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගිය දිනෙක අප සමග සඳහන් කළේය.
“මේ ව්‍යාපෘතිය පිළිබඳව අදහස රජය අත්හැරල නෑ. ව්‍යාපෘතිය සිදුකිරීමට අළුතින් ගිවිසුමක් අත්සන් කරන්න ඕන. රජය වෙනස් කරපු ගැසට් නිවේදනවල සඳහන් ආකාරයට ගිවිසුමක් ඉදිරියේදී අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා.“
“මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට රජය විසින් කල්බදු ක්‍රමයට ලබාදෙන අක්කර 04 ක පමණ ඉඩමට ගෙවිය යුතු මුදල් වලින් සියයට 20 ක් පමණ ජේම්ස් පැකර් හා රවී විජේරත්න පාර්ශවය විසින් ගෙවා තිබෙනවා.“
ව්‍යාපෘතිය සිදුකිරීමට සැලසුම් කර තිබෙන ඉඩම කොළඹ ලේක් හවුස් ඉදිරිපිට බේරේ වැවට මුහුණලා පිහිටා තිබේ.
මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන රවී විජේරත්න මහතා සමග එක්ව ජේම්ස් පැකර් විසින් ආරම්භ කිරීමට සූදානම් වන මෙම ව්‍යාපෘතියේ කැසිනෝ සූදු ආරම්භ කිරීමට සැලසුමක් ඇතැයි දැවැන්ත විරෝධතාවයක් ඇතිවූ අතර පසුව රජය විසින් අදාළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලැබුවේ කැසිනෝ යන වචනය නිශ්චිතවම සඳහන් නොකරමිනි.
ජේම්ස් පැකර්, ධම්මික පෙරේරා සහ ජෝන් කීල්ස් සම්බන්ධ වන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති තුන සඳහා මීට පෙර පැවති ගිවිසුම් අවලංගු කරමින් නව ගිවිසුම් වලට එළඹීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ නිසා කටයුතු කර තිබේ.
Video Story