November, 26, 2014
ශ්‍රී ලංකාවේ පැරණිතම මෙන්ම විශාලතම වාණිජ මණ්ඩලය වන ලංකා වාණිජ මණ්ඩලය විසින් පිට පිටම 11 වන වතාවටත් සංවිධානය කළ 2014 හොඳම ආයතනික පුරවැසි සම්මාන ප්රදානයේදී (Best Corporate Citizen Sustainability Awards 2014) දෙරණ මාධ්‍ය ජාලය විසින් ක්‍රියාත්මක කරන “මනුසත් දෙරණ“ සමාජ සත්කාරක වැඩසටහන සම්මානයට පාත්රවිය.
මේ අනුව, සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වන ‘මනුසත් දෙරණ‘ සමාජ සත්කාරක වැඩසටහන 2014 වසරේ හොඳම තිරසාරාත්මක ව්‍යාපෘතියක් ලෙස (Best Sustainability Project Awards 2014) කුසලතා සම්මානයක් දිනා ගනිමින් ඊයේ රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ අති උත්කර්ශවත් අයුරින් පැවති සම්මාන ප්රදානයේදී බුහුමනට පාත්රවිය.
මෙම සම්මාන ප්රදානයේදී මෙරට හොඳම සමාගම් රැසක් සම්මානයට පාත්රවූ අතර සම්මාන ප්රදානය කිරීමේ උත්සව අවස්ථාවට 400 කට වැඩි සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී විය.
සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වන ‘මනුසත් දෙරණ‘ සමාජ සත්කාරක වැඩසටහන මගින් දුෂ්කර ප්‍රදේශ වලට පානීය ජල පහසුකම් සැපයීම සඳහා ජල ටැංකි බෙදාදීම, වකුගඩු රෝගීන් හඳුනාගෙන ඔවුන් නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ වෛද්‍ය සායන පැවැත්වීම, වකුගඩු රෝගයෙන් අසරණ වූ පවුල්වල දරුවන් වෙනුවෙන් මාපිය කැපකරු ජාතික ශිෂ්‍යත්ව අරමුදලක් දියත් කිරීම ඇතුළු සමාජ සත්කාරක වැඩසටහන් රැසක් සිදුකර තිබීම කැපී පෙනේ. 