December, 1, 2014
වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදී එම මූල්‍ය ගෙවීම් පළමු වරට ක්‍රෙඩිට්කාඩ් සහ ජංගම දුරකතනය ඔස්සේ සිදු කිරීමට පහසුකම් සැලසේ.
මෙම සේවාව දකුණු පළාතෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
වාහන ආදායම් බල පත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකමද මේ සමගම දකුණු පළාතටද හදුන්වා දීමට නියමිත බව නියෝජිතායතනය සඳහන් කරයි.
මෙම පළාතේ ලියාපදිංචි වාහන හිමිකරුවෙකුට සිය වාහන ආදායම් බල පත්‍රය පළාතේ ඕනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින් ලබා ගැනීමේ පහසුකම මේ වනවිට ලැබී තිබෙන අතර මෙම නව පහසුකම් හදුන්වාදීමත් සමගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණ ආදායම් බල පත්‍රය ලබා ගැනීමේදීත් ඉහත සදහන් ක්‍රමවේද ඔස්සේ මූල්‍ය ගෙවීම් කිරීමට හැකිවීම විශේෂත්වයකි.
අන්තර්ජාලය ඔස්සේ මෙම සේවාව ලබාදීම බස්නාහිර පළාතෙන් ප්‍රථමයෙන් ආරම්භ කෙරුණු අතර එහිදී ලද සාර්ථකත්වය මත දකුණු පළාතට හඳුන්වාදීමට පියවර ගත් බව නියෝජිතායතනය පවසයි.
මෙම 2014 වසරේදී මේ වනවිට බස්නාහිර පළාත තුළ අන්තර්ජාලය ඔස්සේ වාහන ආදායම් බල පත්‍ර මිලියනයක් පමණ නිකුත් කර තිබෙන බවද නියෝජිතායතනය කියයි.
අන්තර්ජාලය ඔස්සේ www.srilanka.lk සහ www.gov.lk වෙබ් අඩවි වලට පිවිසීමෙන් මෙම පහසුකම ලබා ගැනීමට හැකිවේ.
ගාල්ල ලබුදූව දක්ෂිණපාය අමාත්‍යංශ සංකීර්ණයේදී දෙසැම්බර් මස 20 වනදා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය නිළ වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Video Story