ශ්‍රී ලංකන් සහ ජපන් ගුවන් සමාගම අතර ගිවිසුමක්

    December, 4, 2014

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි ඈත පෙරදිග ගමනාන්ත වෙත මෙහෙයුම් ව්‍යාප්ත කිරිමේ අරමුණින් ජපන් ගුවන් සමාගම (JAL) හා එක්ව දෙසැම්බර් මස 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංකේත හුවමාරු ගිවිසුම් සඳහා එළඹෙන ලදී.

    මෙම නව සංකේත හුවමාරු ගිවිසුම සමග ශ්‍රී ලංකන් ගුවන් සමාගම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවා හා එක්ව සංකේත හුවමාරු ගිවිසුම් සඳහා එළැඹි සය වැනි අවස්ථාව සනිටුහන් වේ.

    මින් පෙර ගුවන් සමාගම මැලේෂියා එයාර්ලයින්ස් ,සයිබීරියා එයාර්ලයින්ස් (S7), රෝයල් ජොදානියන් ,ෆින් එයාර් සහ කොන්ටාස් ගුවන් සේවා හා එක්ව සංකේත හුවමාරු ගිවිසුම් සඳහා එළැඹ ඇත.

    ගුවන් මගීන් සඳහා සුවපහසු සංචාරක පහසුකම් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නරීටා වෙත සතියකට ගුවන් ගමන් වාර 4ක් සිදුකරමින් ජපන් ගුවන් සමාගම හා එක්ව ඔසාකා සහ නගොයා වෙත ගුවන් මෙහෙයුම් සිදුකරයි. තවදුරටත් බැංකොක් වෙත දිනකට ගුවන් ගමන් 2ක් ශ්‍රී ලංකන් සිදු කරන අතර JALහරහා බැංකොක් සිට ඉහත ගමනාන්ත වෙත පියාසර කිරීමට ගුවන් මගීන්ට හැකියාව ලැබේ.එසේම ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජපන් ගුවන් සමාගම හා එක්ව ටෝකියෝ සිට දකුණු කොරියාවේ සියොල් හා බූසාන් වෙත ගුවන් ගමන් සිදුකරනු ලැබේ. මේ අනුව ජපන් ගුවන් සමාගම ශ්‍රී ලංකන් හරහා කොළඹ සිට ටෝකියෝ ,බැංකොක් සහ මාලේ වෙත ගුවන් මෙහෙයුම් සිදුකරනු ලැබේ.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රසිද්ධ නිවාඩු ගමනාන්තයක් වන මාලදිවයින වෙත ගුවන් ගමන් වාර විශාල සංඛ්‍යාවක් කොළඹ සිට සිදුකරමින් ගුවන් මගීන්ට පහසු ගුවන් සම්බන්ධතා සිදුකිරීමටත් ජපන් ගුවන් සමාගම හා එක්ව සංකේත හුවමාරු ගුවන් මාර්ග ඔස්සේ නව සංචාරක විසදුම් ලබාදීමටත් කටයුතු කරනු ඇත.

    මෙම ගුවන් සමාගම් දෙකෙන් එකක ඕනෑම අවස්ථාවක සංචාරය කිරීමේ දී එක් ගුවන් ප්‍රවේශ පතක් තුළින් ගමනාන්ත රැසක් වෙත පියාසර කිරීමටත් ගමන් මලු පහසුකම් සහ නිරන්තර පියාසර මයිල්ස් උපයා ගැනීමේ අවස්ථා භුක්ති විදීමේ හැකියාවත් ගුවන් මගීන්ට හිමි වේ.

    විශේෂයෙන් ශ්රීවලංකන් ගුවන් යානා ඇණියට පසුගිය ඔක්තෝම්බර් මාසයේ එක්වූ නවතම එයාර්බස් 330-300 ගුවන් යානාව ඇතුළුව අනෙකුත් නව ගුවන් යානා මූලික වශයෙන් ටෝකියෝ සහ බැංකොක් ගමන් මාර්ග සඳහා යොදා ගැනීමට ගුවන් සමාගම බලාපොරොත්තු වේ.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ උපායමාර්ගික ක්‍රියාමාර්ගයක් වන නව වර්ධිත වෙළෙඳපොළවල් වෙත මෙහෙයුම් ව්‍යාප්ත කිරීම සනිටුහන් කරමින් මෙම නව සංකේත හුවමාරු ගිවිසුම තුළින් ජපානය හා ලංකාව අතර සංචාරක කර්මාන්තයේ වැඩිදියුණු කිරීම ද බලාපොරොත්තු වේ. මෙයින් ජපන් ගුවන් සමාගම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සන්ධානය හරහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ගුවන් සබඳතා ශක්තිමත් කිරීමටත් නිරන්තර පියාසරකරන්නන් සඳහා අසීමිත සංචාරක අත්දැකීම් හා ප්‍රතිලාභ අත්පත් කර ගැනීමටත් බලාපොරොත්තු වේ.