ශ්‍රීලංකන් සහ ගුණ ජය සතුට පදනම ඔඩ්ඩුසුඩාන් ගම්මානයේ ගැමි හදවත් නගාසිටුවීමේ මධ්‍යස්ථානය විවෘත කරයි

    September, 21, 2017

    දරුවන් සවිබල ගැන්වීම සහ ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් 8 වැනි Village Heartbeat Empowerment මධ්‍යස්ථානය පසුගියදා මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී විවෘත කරන ලදී.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් දස දහස් ගණනාවක් වූ තරුණ ප්‍රජාව, කාන්තාවන් සහ ළමුන් සවිබල ගැන්වීම සඳහා විශාල වැඩපිළිවෙළක් දියත් කර ඇත. මේ අනුව ශ්‍රීලංකන් කෙයාර්ස්, ගුණ ජය සතුට පදනම (Foundation of Goodness) සමඟ දිගුකාලීන සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස මෙම ගැමි හදගැස්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා සඳහන් කළේ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් මෙම තරුණ තරුණියන් හා කාන්තාවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අත්වැලක් ලබා දීම පිළිබඳ ඉතා ආඩම්බර වන බවයි. එසේම ආයතනික සමාජ සත්කාරක අංශය 2003 වර්ෂයේ ආරම්භයේ සිටම ප්‍රජා සත්කාරක ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් සඳහා දායක වී ඇති බවද හෙතෙම සඳහන් කළේය. එසේම ඔවුන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපන හා කුසලතාවන් දියුණු කර ගැනීමට තවදුරටත් කැපවී සිටින බවත් ගැමි හදගැස්ම ව්‍යාපෘතිය සමඟ ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීම සඳහා එක් පියවරක් ඉදිරියට තැබූ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ගුණ ජය සතුට පදනමේ සභාපති කුෂිල් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ග්‍රාමීය ජනතාවගේ යහපත උදෙසා ගම්බද පළාත්වල තරුණ තරුණියන් සවිබල ගැන්වීම ගැමි හදවත් ව්‍යාපෘතියේ අරමුණ වී ඇති බවයි. මෙම ව්‍යාපෘතිය නිම කිරීමට ශ්‍රීලංකන් කෙයාර්ස් එකතු වීම ඉතා ප්‍රශංසනීය බවද හෙතෙම පැවසීය. ග්‍රාමීය අංශය තුළ විස්මිත දක්ෂතාවයන් සහ කුසලතාවයන් ඇති බවත් ජාතියේ කුසලතා වර්ධනය සඳහා අඛණ්ඩව කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය. තවද අනාගත ක්‍රියාකාරකම්වල දී ඔවුන් සමග වැඩ කිරීමට බලාපොරොත්තුවන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානි ප්‍රදීප කැකුලාවල මහතා සහ ගුණ ජය සතුට පදනමේ නිර්මාතෘ කුෂිල් ගුණසේකර මහතා විසින් මෙම මධ්‍යස්ථානය විවෘත කරන ලදී.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශ සහ ආයතනික සමාජ වගකීම් අංශයේ ප්‍රධානි ප්‍රදීප කැකුලාවල මහතා විසින් මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය ගැන මෙසේ අදහස් පළ කළේය. “ ශ්‍රීලංකන් කෙයාර්ස් සැමවිටම රටේ සමාජ සත්කාරක සේවා අතර පෙරමුණේ ඉන්නවා. දරුවන් කියන්නේ අනාගතයේ මේ රටේ හිමිකරුවන්, ඔවුන්ව මේ රට ඉදිරියට ගෙන යන පුරවැසියන් බවට පත් කිරීමට අවශ්‍ය වන සියළු සහයෝගය සහ රැකවරණය ලබාදිය යුතුයි. අද වන විට ශ්‍රී ලංකාවේ තරුණ ජනගහනය මිලියන තුනකට අධිකයි. කෙසේවෙතත්, උසස් කුසලතා සහ දැනුම සඳහා තරුණයින් පුහුණු කිරීම අවශ්‍යයි. දරිද්‍රතාවයට හේතූන් බිඳ දැමීමට එවැනි උත්සාහයන් දායක විය හැකියි. එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමටත් හැකියාව ලැබෙනවා.” යැයි හෙතෙම පැවසීය. තවද තරුණයන්ගේ ශක්තිය, නිර්මාණශීලිත්වය සමාජය තුළ ධනාත්මක බලපෑමක් ඇති කිරීමට කටයුතු කළ හැකි බවද ඒ මහතා පෙන්වා දුන්හ.

    මෙම ගැමි හදගැස්ම ව්‍යාපෘතිය යටතේ ගුණ ජය සතුට පදනම විසින් ඔඩ්ඩුසුඩාන් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාපිත කරනු ලබන පුහුණු මධ්‍යස්ථානය සඳහා ශ්‍රීලංකන් කෙයාර්ස්, ඉදිකිරීම්, නඩත්තු කටයුතු මෙන්ම සියලු පහසුකම් වලින් සමන්විත මධ්‍යස්ථානයක් බවට මෙය පත්කීරීමට අවශ්‍ය සම්පත් දායකත්වය ලබා දේ. එහි පුහුණු වැඩසටහන් සහ පරිපාලන කටයුතු ගුණ ජය සතුට පදනම විසින් සිදු කරයි.

    ශ්‍රීලංකන් කෙයාර්ස් ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති මූලික කර ගනිමින් ප්‍රධාන අංශ 3ක් වන එනම් සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන හා කුසලතාවන් සඳහා අවධානය යොමු කර තිබේ. එමගින් සමාජයේ අවම පහසුකම් ඇති ජනතාව නඟාසිටුවීම සඳහා කටයුතු කරනු ලබයි. ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් මෙම වැඩසටහන් සඳහා දායක වී ඇත්තේ අඩු සංවර්ධිත ප්‍රදේශවල තරුණ ප්‍රජාවගේ සිහින සැබෑ කර ගැනීම සඳහා පහසුකම් සැලසීම සඳහාය.

    ගැමි හදවත් සවිබල ගැන්වීමේ මධ්‍යස්ථානය මගින් සපයන සේවාවන් වන්නේ පරිගණක පුහුණුව, ඉංග්‍රීසි පාඨමාලා, කාන්තා ව්‍යවසාය පාඨමාලා, තරුණ සහ කාන්තා අභිවෘද්ධි වැඩසටහන්, යුද්ධයෙන් පීඩා විඳි ළමුන් ආධ්‍යාත්මික පුහුණුව, ඔවුන්ගේ ජීවින තත්වය වැඩිදියුණු කිරීම සඳහා වූ විවිධාකාර සේවාවන්ය. මෙම පුහුණු මධ්‍යස්ථානය සඳහා නොමිලේ පුහුණු වැඩසටහන් වන ඉංග්‍රීසි පංති, කාන්තාවන් සඳහා වන කර්මාන්ත පාඨමාලා ,තරුණ සහ කාන්තා සවිබලගැන්වීමේ වැඩසටහන් ,ළමා සුභසාධක සමාජ රැස්වීම් ,ගැමි සහ පාරිසරික වර්ධන සැලසුම්, යුද්ධයෙන් පීඩා විඳි ළමුන් සඳහා ආධ්‍යාත්මික පුහුණුව සහ ඔවුන්ගේ ජීවින තත්වය වැඩිදියුණු කිරීම සඳහා වූ විවිධාකාර සේවාවන්ගෙන් සමන්විතය.

    ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන් හි ගැමි හදගැස්ම ව්‍යාපෘතිය යටතේ විවිධ මධ්‍යස්ථාන රැසක් ගුණ ජය සතුට පදනම විසින් ඉදිකර ඇත. එහි ප්‍රථම මධ්‍යස්ථානය 2007 වසරේ හික්කඩුව උඩුමුල්ල ප්‍රදේශයේ ආරම්භ කර ඇති අතර ඒ හා සමාන මධ්‍යස්ථානයන් රත්ගම, මොණරාගල සහ මාතර ආරම්භ කර ඇත.


    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශ සහ ආයතනික සමාජ වගකීම් අංශයේ ප්‍රධානි ප්‍රදීප කැකුලාවල මහතා, ගුණ ජය සතුට පදනමේ නිර්මාතෘ කුෂිල් ගුණසේකර මහතා සහ ශ්‍රීලංකන් වෛද්‍ය නිලධාරිනී අනෝමා ජයසිංහ මහත්මිය විසින් සමරු ඵලකය නිරාවරණය කිරීම.

    සම්පත් දායකයින් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.